Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

04th September 2019 09:10:28 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ ප්‍රජා සුභසාධන ව්‍යාපෘතින්ට 65 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් දායකත්වය සපයයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංක මුලස්ථානය මනුසත් දෙරණ’ පුණ්‍යාධාර පදනම සමඟ සමීප සම්බන්ධතාවයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල්වල ‘නිදන්ගත වකුගඩු රෝගයට’ ප්‍රතිකාර කිරීම සඳහා එක් දින වෛද්‍ය සායනයක් 2019 අගෝස්තු මස 24 වන දින මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි විනයාගර් මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

නිදන්ගත වකුගඩු රෝගය හඳුනාගැනීමේ පූර්ණ සායනයක්, අක්‍ෂි සායනයක් සහ දන්ත සායනයකින් සමන්විත මෙම වෛද්‍ය සායනයෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා මුලන්කාවිල් සහ ඒ අවට ප්‍රදේශවල වෙසෙන සිවිල් වැසියන් 1832 ක් පමණ සහභාගි වූහ. නිදන්ගත වකුගඩු රෝගය පූර්ණ හඳුනාගැනීමේ සායනයේදී පුද්ගලයන් 450 දෙනෙකු පරීක්ෂාවට ලක් කළ අතර, ඉන් 28 ක් වකුගඩු රෝගය නිදන්ගතව බලපෑමට ලක්වූවන් ලෙස හඳුනාගෙන තිබේ. අක්ෂි සායනයට සහ දන්ත සායනයට පිළිවෙලින් පුද්ගලයින් 415 ක් සහ 60 ක් සහභාගී වූහ.

මෙම වෛද්‍ය සායනය අතරතුර ඇස් කණ්ණාඩි 416 ක් ප්‍රදේශයේ දෘෂ්‍යාබාධිත සිවිල් වැසියන්ට බෙදාදුන් අතර අඩුආදායම්ලාභි පවුල් සඳහා තවත් සූර්ය බලශක්ති පද්ධති 10 ක් පරිත්‍යාග කරන ලදී. මීට අමතරව, අවශ්‍ය විටෙක විදුලි බලය ලබා ගැනීම සඳහා කිලෝ වොල්ට් 2.5 ක විදුලි ජනක යන්ත්‍ර 3 ක් ප්‍රදේශයේ සමාජ /ආගමික ආයතනවලට පරිත්‍යාග කරන ලදී. මේ අතර, එම උත්සවයේදී පාසල් 4 ක සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා වටිනා පුස්තකාල පොත් තොගයක් ප්‍රදනය කරන ලදී.

එම අවස්ථාවේදී, ඊතුගස්වැව මහා විද්‍යාලයට ජල පවිත්‍ර කිරීමේ ඒකකයක්, පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය අඩංගු පාර්සල් 56 ක් සහ ගර්භනී මව්වරුන් සඳහා පෝෂ්‍යදායී ආහාර පාර්සල් 25 ක් බෙදාදීම සිදුවිය. එමෙන්ම, මුලන්කාවිල් ක්‍රීඩා සමාජය වෙත ක්‍රීඩා භාණ්ඩ තොගයක් ද පරිත්‍යාග කරනු ලැබීය.

මීට සමගාමීව, එම ස්ථානයේ පැවැති රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 116 දෙනෙකු සහභාගි වූහ. මෙහිදී, රුධිර පරිත්‍යාග කළ පරිත්‍යාගශීලින්ට පොල්, අඹ සහ කජු පැළ 150 ක් ප්‍රදානය කරන ලදී.

මේ අතර, මුලන්කාවිල් සහ ඒ අවට ප්‍රදේශවාසීන්ට ශ්‍රී ලංකා අක්‍ෂි පරිත්‍යාග සමිතියේ ලියාපදිංචිය ලබා ගැනීමට අවස්ථාව ලබා දුන් අතර, ඔවුන් මියගිය පසු ඔවුන්ගේ දෑස් පරිත්‍යාග කිරීමට මෙහිදි අවස්ථාවක් ලබාදුන්හ.

මෙම ව්‍යාපෘතිය සඳහා කිලිනොච්චි ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ කිලිනොච්චි මහ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු මෙන්ම වෛද්‍ය සහායකයින් 7 දෙනෙකු සිය සහයෝගය ලබාදුන්හ.

මෙම අවස්ථාව සංවිධානය කිරීම සඳහා 65 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ක්‍රියාකාරී දායකත්වයක් ඉටු කළහ.

මෙම වෛද්‍ය සායනය මෙහෙයවීම සඳහා මනුසත් දෙරණ ව්‍යාපෘතියේ සභාපති මහේෂ් ජයවර්ධන මහතා ඇතුළු මනුසත් දෙරණ කණ්ඩායමේ නිලධාරීන් 29 දෙනෙකු, ශ්‍රී ලංකා අක්‍ෂි පරිත්‍යාග සංගමයේ ඊ.එම්.එච්.බී මොරගස්වැව මහතා ඇතුළු සාමාජිකයින් 06 දෙනෙකු, සීමාසහිත ලීසන්ස් හොස්පිටල් (පුද්) සමාගමේ සාමාජිකයින් සහ පියොර් ටෙක් ලංකා පුද්ගලික සමාගමේ (Pure Tec Lanka (Pvt) Ltd) කළමනාකාර අධ්‍යක්‍ෂ අසංක පෙරේරා මහතා සිය සහයෝගය ලබාදුන්හ. තවද, සිලෝන් බිස්කට් පුද්ගලික සමාගම (Ceylon Biscuits Limited), ප්‍රියිමා සමාගම (Prime Company) සහ නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම (Nestle Lanka Limited) විසින් ප්‍රණීත ආහාර සහ කෙටි ආහාර ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම, 652 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ප්‍රභාත් කොඩිතුවක්කු, 653 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජනක උඩොවිට ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිළයින් රැසක් සහභාගි වුහ.