Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

05th June 2018 17:18:15 Hours

ලෝක පරිසර දිනය සැමරීමට කිලිනොච්චි භට පිරිස් විසින් සිවිල් වැසියන්ට පැළ බෙදාදෙයි.

ලෝක පරිසර දිනයට සමගාමීව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 සහ 574 වන බලසේනාවන්හි සියලුම භට පිරිස් විසින් පැළ සිටුවීමේ වැඩසටහනක් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුඩ්ඩුමූරිප්පු, මලයාලපුරම්, අම්පකාමන් සහ මර්තනගර් ප්‍රදේශයන්හි සිවිල් වැසියන්ට පැළ බෙදාදීමේ ව්‍යාපෘතියක් 2018.06.03 වන දින පවත්වන ලදි.

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ අධීක්ෂණය ඇතිව පැවැති මෙම වැඩසටහනේ දී කොස්, පළු, වීර, දොඩම්, පුවක්, දෙළුම් ඇතුළු තවත් වටිනා පැළ වර්ග කිහිපයක් බෙදාදෙන ලදී.

මෙම සමාරම්භක උත්සවය කිලිනොච්චි, පරයිපංචාන් ප්‍රදේශයේ දී 2018.06.03 වන දින පැවැති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 57 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන් සහභාගි විය. තවද 7 වන ශ්‍රි ලංකා පාබල හමුදාව, 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 16 (ස්වේච්ඡා) ශ්‍රි ලංකා පාබල හමුදාව නියෝජය කරමින් අණදෙන නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි වූ අතර, සමාරම්භක අවස්ථාවට රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

සමාරම්භක උත්සවයේ දී මෙම ව්‍යාපෘතියේ වැදගත්කම අවධාරණය කරමින් ජාතියේ යහපත වෙනුවෙන් පැළ සිටුවීම සඳහා සහයෝගය ලබාදෙන මෙන් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියහ.

මේ අතරතුර, ලෝක පරිසර දිනයට සහ ජාතික පරිසර සතියට සමගාමීව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 571 සහ 574 වන බලසේනාවන්හි භට පිරිස් 2018.06.02 වන දින ප්‍රදේශයේ සිවිල් ප්‍රජාව සමඟ එක්ව කිලිනොච්චි නගරය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කළහ.

7 වන ශ්‍රි ලංකා පාබල හමුදාව, 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 16 (ස්වේච්ඡා) ශ්‍රි ලංකා පාබල හමුදාව නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් 350කට අධික පිරිසක් කිලිනොච්චි නගරය සහ ඒ 9 මාර්ගයේ 238 වන සැතපුම් කණුවේ සිට 254 වන සැතපුම් කණුව දක්වා මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන සඳහා එක්ව සිටියහ.