Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

22nd July 2021 11:53:00 Hours

57 වන සේනාංකයේ භඨපිරිස් කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ වැඩමුළුවක

ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ උපදෙස් මත 57 වන සේනාංක මූලස්ථානය විසින් කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘති ආරම්භ කර ඇත.

කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දේශනය පැවැත්වීම සඳහා කිලිනොච්චි නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ කාර්යාලයේ කෘෂිකර්ම උපදේශක නිලධාරි එස්. විජයන් මහතා මෙම අවස්ථාවට එක්වූ අතර එම දේශනය සඳහා 57 වන සේනාංකය යටතේ සේවයේ නියුතු 571 වන බලසේනාවේ නිලධාරින්, සිවිල් සම්බන්ධීකරණ නිලධාරින්, අණදෙන නිලධාරින් සහ බුද්ධි අංශ නිලධාරින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සහභාගී වූහ.

මෙම දේශනයේදී උසස් තත්ත්වයේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය සහ කාබනික පොහොර භාවිතා කරමින් උසස් තත්ත්වයේ නිෂ්පාදන ලබාගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව කථිකාචාර්යවරයා නිලධාරින් දැනුවත් කළේය. ඊට අමතරව, උතුරු පළාතට සුදුසු බෝග වගාව පිළිබඳව පැහැදිලි කරමින් එස්. විජයන් මහතා අක්කර 1 ක් සඳහා අවශ්‍ය වන කාබනික පොහොර ප්‍රමාණය, බෝග සඳහා කාබනික පොහොර භාවිතා කිරීමේ නිවැරදි ක්‍රම, වල් පැලෑටි පාලනය කිරීමේ ක්‍රම සහ වගාවට සුදුසු ජල සැපයුම් ක්‍රම සකසාගැනීම ආදි කරුණු පිළිබඳව ද අවධානය යොමු කරමින් සිය දේශනය පැවැත්වූවේය.