Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි)

03rd January 2019 18:10:39 Hours

කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුරින් පසු ළිං පිරිසිදු කරමින් පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට යුද්ධ හමුදා භට පිරිස්හි සහය

පසුගිය දින කිහිපය තුල පැවති අයහපත් කාලගුණයත් සමඟ ඇඳහැළුණු ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් කිලිනොච්චි ප්‍රදේශයේ රත්නපුරම්, ආනන්දපුරම්, භාරතිපුරම්, කලෙයිනගර්, උලවනූර්, මයිලවනපුරම්, කොලොන්ඩුපුරම්, කල්ලරු, ධර්මපුරම්, වැලිකන්ද, මරුසුමොටේ, කන්දවාලි, උරියන්, කන්දවේලී, නගෙන්දපුරම්, පන්නන්කඩ්ඩි, පොන්නගර්, ඉන්දුපුරම් යන ගම්මානයන්හි ඇතිවූ ගංවතුර තත්ත්වය මේ වනවිට පහළ ගොස් ඇති අතර ප්‍රදේශයේ ජිවත්වන සිවිල් වැසියන්ගේ ජන ජිවිතය යථා තත්ත්වයට පත්කරලීම සඳහා එම ප්‍රදේශයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ නාවික හමුදා සාමාජිකයින් ඉරිදා (30) දින සිය සහයෝගය ලබාදුන්හ.

පානීය ජල අවශ්‍යතාවය සඳහා පිරිසිදු ජලය ලබාගැනීමට ප්‍රමුඛත්වය ලබාදෙමින්, කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරාගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රියගේ මඟපෙන්වීම මත 571, 572 සහ 574 වන බලසේනාවන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සමඟ එක්ව ගංවතුරට හසුවු ළිං ජල පොම්ප යොදාගෙන පිරිසිදු කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරනු ලබයි. ඒ අනුව, සඳුදා (31) දින ද යුද්ධ හමුදා සාමාජිකයින් රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ඇතිව ළිං පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතවීමට නියමිතය.

ඉරිදා (30) දින සන්ධ්‍යාව වනවිට, 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 3 වන ගජබා රෙජිමේන්තුව, 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සමඟ එක්ව ගංවතුරින් බලපෑමට ලක්වූ ප්‍රදේශයන්හි ළිං 102 පිරිසිදු කරන ලදී. තවද ගංවතුර තත්ත්වයට හසුවූ ඇතැම් ප්‍රදේශවල නිවාසයන්හි පිසින බඳුන් ඇතුළු අනෙකුත් උපකරණ විනාශයට පත්වී ඇති හෙයින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත පිසු ආහාර සැපයීම තවදුරටත් සිදු කරනු ලබයි.