Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

12th April 2025 10:07:36 Hours

ප්‍රජා සත්කාර වැඩසටහන් යටතේ අඩු ආදායම් ලාභි පවුල් වල පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදීම

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් සී පී විජයරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සංකල්පයක් මත සහ 541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අයිපි ජයසිංහ ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම මත, 10 (සෙව්) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ඇතුළු සියලුම නිලයින් විසින් එම බලප්‍රදේශයේ පදිංචි අඩු ආදායම් ලාභී පවුල්වලට අයත් මන්නාරම පාලක්කුලි රෝමානු කතෝලික දමිළ විදුහලේ ඉගෙනුම ලබන 1 වසර සිට 5 වසර දක්වා අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 29 දෙනෙකු සඳහා ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2025.04.11 වන දින එම ඒකක දේශණ ශාලාවේදී පවත්වන ලදී. එහිදී එක් පාසල් සිසුවෙකු සඳහා පොත් බෑග්, අභ්‍යාස පොත් ඇතුළු රු. 11000.00 කට අධික වටිනාකමකින් යුත් පාසල් උපකරණ කට්ටලයක් ලබාදීමට කටයුතු කරන ලදී.

මෙම පාසල් උපකරණ ලබාදීම සඳහා ද්‍රව්‍යමය දායකත්වය ලබාදීම මල්වතු පාර්ශවයේ පූජ්‍ය මාපාකඩ පඤ්ඤසාර හිමි, කොළඹ ප්‍රදේශයේ පදිංචි චමිලා ප්‍රියදර්ශණී මහත්මිය සහ වත්සල කරුණාතිලක මහතා විසින් සිදුකරන ලදී. වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 541 පාබල බලසේනාධිපති තුමන් සහභාගී වූ අතර, 10 (සෙව්) ගැමුණු හේවා බලඇණීයේ ඒකක අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන්, සෙසුනිලයින්, එම පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය, පාසල් සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන්ද සහභාගී වන ලදී.