Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

03rd January 2023 18:52:30 Hours

54 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ඩබ්ලිව් ඩබ්ලිව් එච් ආර් වී එම් එන් ඩී කේ බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරී රාජකාරී භාර ගන්නා ලදි

මේජර් ජෙනරාල් නලින්ද නියංගොඩ ජ්‍යෙෂ්ඨ නිළධාරී 2022 දෙසැම්බර් මස 30 වැනි සිකුරාදා දින මන්නාරම 54 වන පාබල සේනාංක මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී නව සේනාංකාධිපති ලෙස වැඩ භාර ගන්නා ලදී.

යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව, මේජර් ජෙනරාල් නලින්ද නියංගොඩ ජ්‍යෙෂ්ඨ නිළධාරී කදවුරු පරිශ්‍රයට පැමිණීමේදී කදවුරු මුරයක් පිරිනමන ලද අතර දිනයේ පළමු අංගය ලෙස සේනාංක මූලස්ථානයේ පිහිටි ස්මාරකය වෙත පැමිණ මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා උපහාර දැක්වීය. අනතුරුව ගැමුණු හේවා බළකායේ භට පිරිස් විසින් සම්මාන මුරයක් පිරිනමන ලදී.

පසුව, මේජර් ජෙනරාල් නලින්ද නියංගොඩ සර්ව ආගමික (බෞද්ධ, කතෝලික, ඉස්ලාම් හා හින්දු) පූජකවරුන්ගේ ආශිර්වාද මධ්‍යයේ සේනාංකාධිපති ධූරයේ වැඩ භාර ගන්නා ලදි.‍

වැඩසටහන් මාලාවට අනුව නව සේනාංකාධිපතිතුමන් සේනාංක මූලස්ථානය යටතේ සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්‚ නිලධාරීන් සහ සෙසු නිළයින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් පසු 54 වන පාබල සේනාංක කාර්යාල සංකීර්ණයේ අඹ පැළයක් රෝපනය කරන ලදි.

සේනාංකාධිපති සිය රාජකාරි ස්වභාවය සහ ඔහුගේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබද සේනාංකයේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් නිල වශයෙන් අමතා කැපවීමෙන් සහ උසස් විනයකින් යුතුව කටයුතු කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි අතර සොල්දාදුවන්ගේ සංවර්ධනය සඳහා පුහුණුවීම් වල වටිනාකම පිළිබද අවධාරණය කරන ලදි. වැඩසටහනේ අවසාන අංගය ලෙස සේනාංකාධිපතිතුමන් සියලු නිලයන් සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගී විය.

541, 542 සහ 543 පාබල බළසේනාවන්හි බලසේනාධිපතිවරුන්‚ අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් වැඩ භාර ගැනීමේ අවස්ථාව සදහා එක් විය.

මේජර් ජෙනරාල් නලින්ද නියංගොඩ ජ්‍යෙෂ්ඨ නිළධාරී 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයට පත් වීමට පෙර දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක ලෙස රාජකාරී ඉටු කළේය.