Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

29th December 2023 16:19:16 Hours

නත්තල් කැරොල් ගී ප්‍රසංගය මන්නාරම - 2023

කිතුනු බැතිමතුන් බහුතරයක් වෙසෙන මන්නාරම දිස්ත්‍රික්කයේ සිවිල් වැසියන් අතර ආගමික සහජීවනය සහ සිවිල් හමුදා සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරිම සහ අසිරිමත් නත්තල් උදාව සනිටුහන් කරමින් 54 පාබල සේනාංකය මගින් සංවිධානය කරනු ලැබු මන්නාරම නත්තල් කැරොල් ගී ප්‍රසංගය පසුගිය බදාදා (දෙසැම්බර් මස 27) දින පස්වරුවේදී ප්‍රාන පරිත්‍යාගීන්ගේ රාජේශ්වරී දේවස්ථානය තොඩ්ඩවේලී, මන්නාරම හිදී පැවැත්විණි.

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.එම්.පි.එස්.බි කුලතුංග ආර්එස්පී එන්ඩිසී පීඑස්සී ගේ ආරාධනයකට අනුව මන්නාරම රදගුරු පදවියේ රදගුරු ආචාර්‍ය ෆිඩෙලිස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වු අතර, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති (වන්නි) මේජර් ජෙනරාල් ඩබ්ලිව්.පී.ඒ.ඩි.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී විඑස්වී යුඑස්පී එන්ඩියු සහභාගී විය.

‘සාමයේ කුමරා’ වන ජේසුස් වහන්සේගේ උපත සනිටුහන් කරමින් පැවැත්වූ මෙම උත්සවයේදී සිංහල, දමිළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම ගීතිකා ගායනා කරනු ලැබු අතර, එම ගීතිකා තුලින් සියලු ලෝකවාසීන් වෙත සාමය සහ සෞභාග්‍යය ප්‍රාර්ථනා කරනු ලැබීය.

මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගයේදී යුද්ධ හමුදා නත්තල් කැරොල් ගායන කණ්ඩායමට අමතරව ශාන්ත සේවියර් බාලිකා විද්‍යාලය - මන්නාරම, ශාන්ත සේවියර් පිරිමි විද්‍යාලය - මන්නාරම, ශාන්ත ජෝශප් වාස් දේවස්ථාන ගීතිකා කණ්ඩායම සහ තොඩ්ඩවේලි දේවස්ථාන ගීතිකා කණ්ඩායම් මෙම අවස්ථාව වර්ණවත් කරමින් ජේසු සමිදානන්ගේ සාමයේ පණිවිඩය ජනතාව අතරට රැගෙන යාමට දායකත්වය ලබාදෙන ලදී.

මෙම අවස්ථාව සදහා ප්‍රදේශයේ සර්ව ආගමික පුජ්‍ය පක්‍ෂය, මන්නාරම දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන්, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා මුලස්ථාන (වන්නි) ජ්‍යෙෂ්ඨ නිළධාරි වරුන්, 21 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිළධාරි වරුන්, 54 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ යටතේ පාලනය වන 541, 542 සහ 543 පාබල බළසේනාවන්හි බළසේනාධිපති වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරි වරුන් සහ තුන්දහසකට අධික සිවිල් වැසියන් පිරිසක් මේ සදහා සහභාගී විය.