19th June 2025 08:28:20 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) අඥාපති මේජර් ජෙනරාල් කේඑම්පීඑස්බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟ පෙන්වීම යටතේ පොසොන් සමයේදී අනුරාධපුර පූජනීය ස්ථානවල ආගමික උත්සව මාලාවක් පැවැත්විණි. මෙම උත්සව සංවිධානය සඳහා වැඩිදායකත්වයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දැක්වු අතර, 21 වන පාබල සේනාංකයේ සහ භකාස අණසක (වන්නි) හි භට පිරිස්වල දායකත්වයෙන් මෙම වැඩසටහන් සංවිධානය කරන ලදී.
ජය ශ්‍රී මහ බෝධිය, රුවන්වැලි මහා සෑය, අභයගිරිය ස්ථූපය, ලංකාරාමය ස්ථූපය සහ ථූපාරාමය ස්ථූපය අවට ප්‍රදේශය හොඳින් පිරිසිදු කිරීම, සනීපාරක්ෂක පහසුකම් සඳහා ජංගම කැසිකිළි පද්ධති ස්ථාපිත කිරිම, සෞඛ්‍යදාන ව්‍යාපාරයේ වෛද්‍ය ආධාර මධ්‍යස්ථාන ස්ථාපිත කරන ලද අතර, වන්දනාකරුවන්ගේ සුවපහසුව වැඩි දියුණු කිරීම සඳහා පැරබෝලියම් හට් ඉදිකර මෙම පූජනීය ස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සහ දන්සැල් පැවැත්වීම ආදී පහසුකම් සැපයීම සිදුකරන ලදි.
සඳහිරු සෑ ස්ථූප පරිශ්‍රයේ දී යුද්ධ හමුදාවේ දායකත්වයෙන් විශේෂ බත් දන්සලක් පවත්වන ලද අතර, එම අවස්ථාව සඳහා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා සහ ආරක්ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් කේ එම් පී එස් බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගි විය. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති සඳහිරු සෑ ස්ථූප පරිපාලන කාර්යාලය හා එක්ව භකාස අණසක (වන්නි) මෙම දන්සල සංවිධානය කරන ලදී.
තවද 21 වන පාබල සේනාංකය සහ භකාස අණසක (වන්නි) පූජනීය මිහින්තලේ භූමියේ ජාතික පොසොන් උත්සවය සංවිධානය කිරීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන් අතර ඔවුන්ගේ කැපවීම සහ සහයෝගය පොසොන් පොහොය සාර්ථකව නිමා කිරිමට මහත් පිටුවහලක් විය.