Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

3 (සෙව්) බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව

උඩරට වතුකරයේ වරින් වර පැතිරී ගිය කම්කරු විරෝධතා ව්‍යාපාරය තුළින් රාජ්‍ය පාලනයට හා ආර්ථිකයට එල්ල වූ අහිතකර බලපෑම් මගහරවා ගැනීමට විසදුමක් වශයෙන් 3 (සෙව්) ලංකා සිංහ රෙජිමේන්තුව 1969 ඔක්තෝම්බර් මස 01 දින නුවරඑළිය හිල්ස්කූල් නැමැති ස්ථානයේ පිහිටුවන ලදී.

මෙම ඒකකය ආරම්භ කිරීමෙන් පසු එම වකවානුව තුළ ඒකකය මගින් නුවරඑළිය, ආගරපතන, රාගල, උඩුපුස්සැල්ලාව, තලවාකැලේ, පූඩළුඔය, හැටන්, මස්කෙළිය, බගවන්තලාව, මතුරට, හගුරන්කෙත ආදී ප්‍රදේශ පුරා පැතිරී තිබූ තේ වතුවල ආරක්ෂාව තහවුරු කෙරිණි.

2 (සෙව්) ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ඇතුළත් කරන ලද නිලධාරින් දෙදෙනෙකු හා සෙසුනිලයින් 52 කින් යුත් පිරිසකින් මෙම බලඇණිය ආරම්භ කරන ලදී. මෙහිදී ඒකකයේ පළමු අණදෙන නිලධාරි මේජර් සීඑන් පානබොක්කේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් හොබවන ලදී.

ඒකකය ආරම්භයේදී උඩරට වතුකරයේ සහ ඒ ආශිත පදේශයේ නීතිය හා සාමය පවත්වාගෙන යාමේ කාර්යභාරය පැවරී තිබුණද, ඒකකය වර්ධනය වීමත් සමග අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි හා රාජ්‍ය විරෝධී කියා මැඩලීම පිණිස දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත භට පිරිස් යෙදවීමට සිදුවිය. 1969 දී කොළඹ වරායේ මහා වැඩ වර්ජනයේදී ජනතාවට සහ රජයට අපහසුවක් නොවන පරිදි වරායේ වැඩ කටයුතු කරගෙන යෑමට මෙම ඒකකය මහගු සේවයක් ලබාදෙන ලදී. එමෙන්ම තුල්හිරිය පෙහෙ කම්හලේ ආරක්ෂාව තහවුරු කිරීම, 1971 වර්ෂයේදී කරන ලද විශේෂ රාජකාරියකි. ඉන් අනතුරුව උතුරු නැගෙනහිර නීති විරෝධී කාර්යයන් මැඩලීමේ රාජකාරි සදහා මන්නාරම, සිලාවතුර, අලිමංකඩ, මුලතිව් යන පදේශවල මෙම ඒකක භට පිරිස යොදවන ලදී.

විශේෂයෙන් 1971 දී ඇතිවූ රාජ්‍ය විරෝධී කැරැල්ල මැඩපැවැත්වීම සඳහා මෙම ඒකකය අනුරාධපුරය,නොච්චියාගම, කැකිරාව, ගලෙන්බිඳුණුවැව, සේනපුර, විල්පත්තුව, අම්පාර, මොණරාගල, වැල්ලවාය, බලංගොඩ, රත්නපුර, මීරිගම, කෑගල්ල, වැලිමඩ සහ නුවරඑළිය යන ප්‍රදේශවලට විශාල මෙහෙයක් ඉටුකරන ලදී. 1974 සිට 1977 දක්වා කොළඹ පවත්වන ලද නොබැඳි ජාතීන්ගේ සමුළුවේ රාජකාරි කිරීමේ භාග්‍යය ද මෙම ඒකකයට හිමිවිය.

1977 වන විට ඇරඹුණු ජාතිවාදී අරගල හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවකැලේ, හැටන්, බගවන්තලාව, ලක්‍ෂපාන ප්‍රදේශවල මෙම ඒකකය අනුඛණ්ඩ පිහිටුවා උඩරට වතුකරයේ සාමය සුරක්ෂිත කරන ලදී. විශේෂයෙන්, ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් ලක්‍ෂපාන, කැනියන්, විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාර සහ ඒ ආශ්‍රිත ජලාශවලට 1990 පමණ වනතුරු මෙම ඒකකය වෙතින් ආරක්ෂාව ලබාදෙන ලදී.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් ඉතා වැදගත් විකාශනාගාරයක් වූ රදැල්ල ගුවන් විදුලි විකාශනාගාරයට ද 1993 වර්ෂය දක්වාම මෙම ඒකකය මගින් ආරක්ෂාව ලබා දී ඇත. එපමණක්ද නොව, ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල පිහිටි ප්‍රධාන රූපවාහිනී සම්ප්‍රේෂණාගාර මධ්‍යස්ථානය පිදුරුතලාගල කඳු මුදුනේ ආරම්භ කළ අවස්ථාවේ පටන් මේ දක්වා ඒ සඳහා ආරක්ෂාව සැලසීමේ වගකීමද මෙම ඒකකයට පැවරී ඇත.

තවද, ආරක්ෂාව සැපයීමට කටයුතු කළ මුල් වකවානුවේ සිටම මුහුදු මට්ටමේ සිට ආදී 8282 ක පමණ උස් වූ ස්ථානයක රැදී සිටිමින් වර්ෂය පුරාම පවතින ඉතාමත් අධික ශීත දේශගුණික තත්ත්වයන් යටතේ ඉතාමත් අසීරු රාජකාරියක නිරතවීම වෙනුවෙන් එම නිලධාරීන්, සෙබළුන් හා ඒකකය යුධ හමුදාවේ උසස් මූලස්ථානවල හා එකී පැමිණෙන දෙස් විදෙස් ප්‍රභූවරුන්ගේ විශේෂ ඇගයීමකට ලක්ව ඇත.

ඒකක භටපිරිස් විසින් ආරක්ෂාව සපයනු ලබන පිදුරුතලාගල රූපවාහිනී සම්ප්‍රේෂණාගාරය


ජාතිවාදී අරගලයන් උතුරු නැගෙනහිර ප්‍රදේශය පුරා විහිදී යාම ආරම්භ වූ පසු 1986 වර්ෂයේ පටන් කොටි ත්‍රස්තවාදීන් සමඟ සටනට එළඹමේ අවස්ථාව මෙම ඒකකයට උදාවිය. ඒ අනුව ඒකකය පූනරින්, වැලිකන්ද, සිංහපුර, වඩුමුණේ, කන්දකාඩු, අම්පාර, පිල්ලුමලෙයි, පුළුකුණාව, නීත්ත, මල්වත්ත, මංගල ඔය, පොතුවිල්, කෝමාරි, ආරුගම්බේ යන ස්ථානවල අනුඛණ්ඩ පිහිටුවන ලදී.

1989 දී රාජ්‍ය විරෝධී කටයුතු නැවත උත්සන්න වූයෙන් මෙම ඒකකයේ භට පිරිස් රාජ්‍ය විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම පිණිස නුවරඑළිය, බදුල්ල යන දිස්ත්‍රික්කවල අනුඛණ්ඩ විශාල සංඛ්‍යාවක් පිහිටුවා රාජකාරීන් සඳහා යොදවන ලද අතර, එවකට ඒකක අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ ලුතිතන් කර්නල් එම් ජයකුමාර් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් පත්කරන ලදී. මෙම ඒකක භට පිරිස් හි විශිෂ්ට සේවය හේතුවෙන් රාජ්‍ය විරෝධී කැරලිකරුවන්ට ඔවුන්ගේ අභිප්‍රායන් මුදුන් පමුණුවා ගැනීමට නොහැකි විය.

හිටපු ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා ඒකකයේ සිදුකළ සංචාරය අතරතුර

හිටපු ආරක්ෂක අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා ඒකකයේ සිදුකළ සංචාරය අතරතුර


එල්ටීටීඊ සංවිධානය විසින් ශ්‍රී ලංකා ජනරජය සමඟ පැවැත්වූ සාම සාකච්ඡා බිඳ වැටීමෙන් අනතුරුව කොටි ත්‍රස්තවාදි ක්‍රියා උතුරු නැගෙනහිර ප්‍රදේශය පුරා උත්සන්න වීමත් සමඟ 1990 මැද භාගයේ පලාලි, අලිමංකඩ, මාන්කුලම්, මන්නාරම, වවුනියාව, කොකාවිල්, කන්කසන්තුරේ යන ස්ථාන වෙත මෙම ඒකක භට පිරිස් ක්‍රියාන්විත රාජකාරි සඳහා යොදවන ලදී.

මෙම ඒකක භට පිරිස් හට 1990.06.11 දින ශ්‍රී ලංකා යුධ හමුදා ඉතිහාසයේ මෙතෙක් මුහුණ දුන් බිහිසුණු සටනට අවතීර්ණ වීමට සිදුවිය. එනම්, ඒකකය මගින් ආරක්ෂාව සපයන ලද කොකාවිල් ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය හා මාන්කුලම් කඳවුරු වෙත එල්ටීටීඊ ත්‍රස්තවාදීහු දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමයි. මෙහිදී කොකාවිල් කඳවුරේ රාජකාරි කළ ලුතිතන් එස්යූ අලදෙණිය යන නිලධාරි ඉතාම විශිෂ්ට වූ නායකත්වයක ලක්ෂණ පෙන්නුම් කරමින් සටන අතහැර පසුබැසීමට අවස්ථාව තිබියදී හා එලෙස පසුබසින ලෙස උසස් මූලස්ථාන වෙතින් උපදෙස් ලබාදී තිබියදී තුවාල ලබා සිටි සහෝදර සොල්දාදුවන් අත්නොහැර ඔවුන් සමගම සිටිමින් සෙබළුන්ගේ චිත්ත ධෛර්ය වර්ධනය කරමින් මරණයට පත්වන අවස්ථාව දක්වාම සටන් කරන ලදී. එහිදී මෙම ඒකකයේ 01x44 ක්ද, 2 වන විජයබා රෙජිමේන්තුවේ 00x06 ක්ද, 1 ශ්‍රීලයුසේබ ඒකකයට අයත් 00x01 ක්ද, 1 ශ්‍රීලංයුවෛබට අයත් 00x01 භට පිරිසක් හා සිවිල් සේවක මහතුන් 02 දෙනෙකු ද දිවි පුදන ලදී.

මෙහිදී කොකාවිල් අනු ඛණ්ඩයේ අනු ඛණ්ඩ භාර නිලධාරි ලෙස කටයුතු කළ මෙම ඒකක නිලධාරි හට යුධ හමුදා සාමාජිකයෙකු වෙනුවෙන් පිරිනමනු ලබන උසස්ම සම්මානය වන පරම වීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලද ප්‍රථම නිලධාරියා ලෙස කපිතාන් එස්යූ අලදෙණිය පීඩබ්වී (මියගිය) යන නිලධාරි යුධ හමුදා ඉතිහාසයට එක්විය.

1990.06.21 දින මෙම ඒකකය වන්නි ආඥා මූලස්ථානය යටතේ වවුනියාව ප්‍රදේශයේ රාජකාරි සඳහා ස්ථානගතවන ලදී. එහිදී ඒකකය ඉදිරි ආරක්‍ෂක කලාපයේ මාරිකරන්, පලෙයි, කුඩාකච්චකුඩි වැනි ප්‍රදේශවල සිංහල ගම්මාන මෙන්ම, ද්‍රවිඩ ගම්මාන රැසකට ඒකකය වෙතින් ආරක්ෂාව සපයනු ලැබීය. තවද, 1992 වර්ෂයේ ත්‍රස්තවාදී ග්‍රහණය යටතේ තිබූ තාණ්ඩිකුලම්, පුන්තෝට්ටම්, කෝවිල්කුලම්, මහරම්බකුලම් යන ගම්මානවලට අයත් භූමි ප්‍රදේශයන් “බ්ලැක් ෆොක්ස්” නැමැති ක්‍රියාන්විතය මගින් අත්පත් කරගෙන එම ගම්මාන ගොඩනැංවීමටද මෙම ඒකක භට පිරිස් කටයුතු කරන ලදී.

කපිතන් එස්යූ අලදෙණිය පීඩබ්වී


ඒකකය යාපනය ප්‍රදේශයේ 52 සේනාංකය යටතේ රාජකාරියේ යෙදීසිටියදී ක්‍රියාන්විත රාජකාරියේද යෙදෙමින්ප්‍රදේශයේ ක්‍රීඩා කටයුතු හා පාසල් ළමුන් වෙනුවෙන් පොත්පත්, නිවෙස් නොමැති පවුල් සඳහා නිවාස ඒකක ශ්‍රම දායකත්වයෙන් ඉදිකරදීමේ ව්‍යාපෘති වැනි සුබ සාධන කටයුතුවල නිරතවෙන ලදී.

නිවාස අලුත්වැඩියා කිරීම් කටයුත්තක්


රජය මගින් දිවයිනේ අර්ධ/ද්විතීයික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඒකකය වෙතින් සිදුකරනු ලැබූ පාසල් සංවර්ධන කටයුතු සඳහාද ඒකක භට පිරිස් දායකත්වය සපයාලූ අතර, එහිදීද රාජ්‍ය හා උසස් මූලස්ථානයන්හි පැසසුමට ඒකකය ලක්විය.

පාසල් නවීකරණය කිරීමේ කටයුතුවල නිරත ඒකක භට පිරිස්


ඒකකය උතුරු නැගෙනහිර ක්‍රියාන්විත ප්‍රදේශයන්හි වසර 21ක පමණ කාලයක් රාජකාරි සිදුකිරීමේදී ඇතිවූ යුධමය මානුෂික අස්වැසිල්ලක් ලෙස ඔවුන්ගේ මානසික විවේකය සඳහා ඒකක පසුමූලය ස්ථානගතව තිබූ ඉහළවැව පාර නුවරඑළිය යන ස්ථානයේ බලඇණියක් ලෙස 2011.02.10 දින ස්ථානගතවන ලදී.

ඒකකයක් ලෙස නුවරඑළිය ප්‍රදේශයේ ස්ථානගත වූ පසු බලඇණියක් වශයෙන් සියළුම නිලධාරි/සෙබළුන් 2013.11.18 වන දින සිට 2013.12.24 දින දක්වා වන සටන් පුහුණු අංශය වලමන්ඩිය වෙතින් බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව හදාරන ලදී. දැනට ඒකක භට පිරිස් විසින් නුවරඑළිය ප්‍රදේශයේ නාගරික සංවර්ධන කටයුතු හා ප්‍රදේශයේ ආරක්‍ෂක රාජකාරි ඉටු කරමින් සිටී.

සංවර්ධන කටයුතු සිදුකිරීමට පෙර නුවරඑළිය නගරයේ කොටසක්



සංවර්ධනය කිරීමෙන් අනතුරුව ප්‍රදේශය දිස්වන අයුරු