30th October 2025 19:20:26 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එම් පී එන් ඒ මුතුමාල යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි හට 2025.10.19 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35 කට වැඩි කාලයක් සේවය කර විශ්‍රාම යාම වෙනුවෙන් ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන දොරටුව අභියසදී පිළිගෙන කඳවුරු සම්මාන මුරයක් පුදකරනු ලැබීය. ඉන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච් ඒ අයි පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්‌එස්පි යුඑස්පි එන්ඩිසී ජ්‍යෙෂ්ඨ නිලධාරි සමඟ සම්මාන පෙලපාලියේ ආචාරය පිළිගැනීමෙන් පසු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු රණවිරු ස්මාරකයේ දී මාතෘ භූමිය වෙනුවෙන් තම දිවි දුන් රණවිරුවන් සිහිකර පුෂ්පෝපහාර පුදකිරීමට සහභාගි විය.
පසුව, සියලු නිලයන් සමඟ පැවති තේපැන් සංග්‍රහයට සහභාගි වු විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි එම අවස්ථාවට සහභාගි වු අයවළුන් සමඟ සුහද පිළිසදරක නිරත විය.
උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සහභාගි වු නිලධාරින් හට රාත්‍රි භෝජන සංග්‍රහයක් රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරි නිවස්නයේදි සුදානම් කර තිබු අතර, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ හමුදා නායකත්වය සහ යුද්ධ හමුදාවට කළ අසමසම දායකත්වය ඇගයීම සඳහා ආරක්ෂක සේනා (බටහිර) නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නික්ම යන මේජර් ජෙනරාල් එම් පී එන් ඒ මුතුමාල යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.
නික්ම යන කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරි හට නිදුක් නිරෝගී, සාමකාමී සහ සමෘද්ධිමත් ජීවිතයක් ප්‍රාර්ථනා කිරීම සදහා මන්ත්‍රණ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික නිලධාරීන්, ඇතුළු නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ඥාතීන් සහ මිතුරන් මෙම අවස්ථාවට සහභාගී වුහ.