21st January 2025 19:13:39 Hours
වසර 32 කට අධික කාල සීමාවක් මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් සේවය කළ අභාවප්‍රාප්ත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් එන්.ජී.ජී.එස්. තිලකරත්න (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මහයියාව පොදු සුසාන භූමියේදී සඳුදා (ජනවාරි මස 20) දින පස්වරුවේ යුද්ධ හමුදා ගෞරවාචාරයන් මධ්‍යයේ සිදුකෙරිණි.
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ශෝකයට පත් පිරිසක් සහභාගි වූහ.
බ්‍රිගේඩියර් එන්.ජී.ජී.එස්. තිලකරත්න (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ දේහය හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද කාතු ගැල මත අභිමානවත් අයුරින් තැන්පත් කර භටපිරිස් පෙරටුකොට ගත් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී.
එම අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත පැමිණීමෙන් අනතුරුව යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් දේහය ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර, ඒ පිටුපසින් අභාවප්‍රාප්ත ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සංවේගයට පත් පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් ද පැමිණියහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ වැඩබලන සේනාවිධායකතුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order), අවමංගල්‍ය උත්සව අවස්ථාවේදී පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලද අතර, හමුදා නිලධාරියෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් කාලතුවක්කු වෙඩි මුර හඩ ගුවන් ගැබ සිසාරා පැතිර යන මොහොතේ බ්‍රිගේඩියර් එන්.ජී.ජී.එස්. තිලකරත්න (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුදකර සිටියහ.
හිරු නැඟෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ එම අවස්ථාවේදි වාදනය කරනු ලැබු අතර, එතුමන්ගේ දිවි සැරියේ නිමාව එම බියුගල් නාදයෙන් සංවේගජනක ලෙස සිහිපත් කරන ලදී.
අනතුරුව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානතුමන් විසින් අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් එන්.ජී.ජී.එස්. තිලකරත්න (විශ්‍රාමික) ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී.