Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

26th December 2024 15:23:22 Hours

මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරි හට විශ්‍රාම පෙළපාලියක් ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී

2024 දෙසැම්බර් 4 දින ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය බලසේනාවේ වසර 34කට වැඩි කාලයක් සේවය කර විශ්‍රාම යන මේජර් ජෙනරාල් ඩබ්ලිව් එල් ඒ සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි හට චාරිත්‍රානුකූල විශ්‍රාම පෙළපාලියක් අඹේපුස්ස ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුව, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් සී ඒන් කත්‍රිආරච්චි ආර්ඩබ්ලිව්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගන්නා ලදි, ඉන් අනතුරුව ඔහු සමඟ ගෞරව ආචාර පෙළපාලියේ ආචාරය ලබා ගැනීම සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී එස් තිබ්බටුගේ මහතා ද සහභාගී විය. පෙළපාලියෙන් අනතුරුව රණවිරු ස්මාරකය අසලදී මියගිය රණවිරුවන්ට පුෂ්පොඋපහාර පුදකරන ලදී.

පසුව සියළු නිළ තේපැන් සංග්‍රහයට මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී විය.

මෙම උත්සවය අතරතුර, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින්, සිංහ රෙජිමේන්තුව වෙනුවෙන් කළ කැපවීම වෙනුවෙන් නික්ම යන කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරිහට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළ අතර, ඔහුට නිරෝගී, ධනවත්, සාමකාමී සහ සමෘද්ධිමත් ජීවිතයක් ප්‍රාර්ථනා කළහ.

දිනය අවසානයේ දී ආකර්ෂණීය රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කරන ලද අතර, ඔහුගේ හමුදා නායකත්වය සහ යුද හමුදාවට දක්වන ලද අනුපමේය දායකත්වය ඇගයීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්පීඒඩී ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නික්මයන මේජර් ජෙනරාල් ඩබ්ලිව් එල්ඒ සී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. සිංහ සේවා වනිතා ශාඛාව වෙනුවෙන් සිදු කරන ලද සේවය අගයමින් සිංහ සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නෙලූකා නානායක්කාර මහත්මිය විසින් සේවයෙන් ඉවත්ව යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ බිරිඳ වන සමුද්දිකා සංජිවී මහේන්ද්‍රසේකර මහත්මිය වෙත විශේෂ සම්මානයක් පිරිනමන ලදී.

සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සේවයෙන් ඉවත්වන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ඥාතීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.