Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

14th March 2022 13:08:47 Hours

සිංහ සේවාවනිතා සාමාජිකාවන් ලෝක කාන්තා දිනය සමරයි

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සිංහ සේවා වනිතා ශාඛාව විසින් සංවිධානය කරන ලද කාන්තා දින සැමරුම සිංහ සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දර්ශනී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2022 මාර්තු 12 වන දින අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම වැඩමුළුව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කිත්සිරි ලියනගේ, සහභාගිවූ අතර මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විරාජ් විමලසේන, සිංහ සේවා වනිතා සාමාජිකාවන්, නිලධාරීන් සෙසුනිලයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම වැඩමුළුව සිංහ රෙජිමේන්තු ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව පිළිබඳ සැකසු වාර්තාමය වීඩියෝ පටයෙන් අනතුරුව සේවා වනිතා ගීතය ගායනා කරමින් උත්සවයේ කටයුතු ආරම්භ කරන ලද අතර පසුව විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වමින් මාතෘ භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් කෘතවේදීත්වයද පුද කරන ලදී. ඉන් අනතුරුව සිංහ සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණ නිලධාරී මේජර් චන්දන බෝවල විසින් පිළිගැනීමේ කතාව පවත්වන ලදී.

පසුව පැමිනසිටි සම්භාවනීය අමුත්තන් විසින් සම්ප්‍රදායික පොල් තෙල් පහන් දැල්වීමට එක් වුහ. සිංහ රෙජිමේන්තු සංස්කෘතික කණ්ඩායමේ පිළිගැනීමේ නර්තනයක් ද පැවැත්විණි.

අනතුරුව වස්කඩුව සිට්‍රස් හෝටලයේ ප්‍රවීණ සූපවේදී මනෝජ් අමරදීප්ති මහතා විසින් කාන්තා දින වැඩසටහනට සහභාගී වූ සිංහ සේවා වනිතා සාමාජිකාවන් සඳහා සූපවේදී වැඩමුළුවක් පවත්වන ලදී.

වැඩමුළුවේදී, සියලුම සහභාගිවුවන්ට ‘චිකන් ඇන්ඩ් ස්වීට් ක්‍රෝන් සුප්’, ‘සීසර් සලාද’ සහ ‘යාපනේ කකුළු ව්‍යංජනය’ පිළිබඳව දැනුම ලබා දුන්නේ ඔවුන් නිවෙස් ආශ්‍රිත ආහාර සැකසීම සඳහා දිරිගැන්වීමේ අරමුණ ඇතිවය.

අධ්‍යක්ෂකවරයෙකු සහ ටෙලිනාට්‍ය නළුවෙකු වන දේශමාන්‍ය නාලක හපුගොඩ මහතා එදින වැඩසටහන වර්ණවත් කරමින් ප්‍රේක්ෂකයින්ගේ සිත් සතුටු කළේය.

ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක, පුහුණුකාරිනියක සහ ප්‍රවීණ දේශිකාවක වන අමා දිසානායක මහත්මිය විසින් “යහපත් විවාහ ජීවිතයක් සඳහා බිරිඳගේ කාර්යභාරය සහ ගෘහාශ්‍රිත ගැටලු අවම කර ගන්නේ කෙසේද” යන මැයෙන් සහභාගිවූවන් දැනුවත් කරන ලදී.

ආරාධිත දේශකවරුන් ඔවුන්ගේ වටිනා කාලය මිඩන්ගු කරමින් සිදුකල මෙහෙවර අගයමින් ඔවුන්ට සමරු තිළිණ ප්‍රධානය කරන ලදි. මීට අමතරව, මෙම අවස්ථාවට පැමිණ සිටි සිංහ සේවා වනිතා ශාඛාවේ අනෙකුත් සියලුම සාමාජිකාවනන් වෙත කාන්තා දින සැමරුම සංකේතවත් කරමින් සමරු තිලිණයක් ලබා දුන්හ.

සිංහ සේවා වනිතා ශාඛාවේ ලේකම් ජීවනී විමලසේන මහත්මියගේ ස්තුති කතාවෙන් අනතුරුව වැඩසටහන අවසන් විය