Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

02nd June 2022 11:33:36 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ආඥාපති වශයෙන් රාජකාරී කරනු ලබන මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 16 වන රෙජිමේන්තු අධිපති ලෙස පසුගිය සඳුදා (23) දින අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක දුලිත පෙරේරා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියස දී භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

ඉන් අනතුරුව, නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත විශේෂ පීඨිකාවේදී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබුහ. පසුව, එතුමන් මධ්‍යස්ථාන සේනාවිධායක සහ පෙළපාලි අණදෙන නිලධාරි සමඟ එක්ව සම්මාන පෙළපාලිය පරික්‍ෂා කරන ලදී.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සිය කාර්යාලයේදි සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරනු ලැබීය. පසුව, එතුමන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රණවිරු ස්මාරකය අභියසදී මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකළේය.

මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ පැවති සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක්වූහ.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන විසින් සියලු නිලයින් අමතන ලදී.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරි නිවස්නය ඉදිරිපිට ගනු ලැබූ සමූහ ඡායාරූපයක් සඳහා ද එතුමන් එක්වූවේය. පසුව, මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරි නිවස්නයේදී දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූහ. මෙම සියළු කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ විශ්‍රාම යෑමෙන් අනතුරුව මේජර් ප්‍රියන්ත ජයවර්ධන මෙම ධූරයේ රාජකාරි භාරගනු ලැබුවේය.