Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

31st March 2022 14:09:10 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි මලල ක්‍රීඩා තරඟාවලිය - 2022 සාර්ථකම නිමාවෙයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව අන්තර් බලඇණි මලල ක්‍රීඩා උළෙල 2 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සංවිධායකත්වයෙන් 2022 මාර්තු මස 26 දින සිට 29 දින දක්වා මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.

මලල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මෙන්ම බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කිත්සිරි ලියනගේ සහ සිංහ සේවාවනිතා ශාඛාවේ සභාපතිනිය දර්ශනී ලියනගේ මහත්මිය ද සහභාගී විය. 2 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් සනත් ගුණසේකර මහතා එදින ප්‍රධාන ආරාධිත අමුත්තා සහ එම මැතිණිය ගෞරවයනේ පිළිගෙන ප්‍රධාන වේදිකාව වෙත කැටුව ගියේය.

සිංහ රෙජිමේන්තු මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට අනාගතයේදී නව බලාපොරොත්තු එක් කරමින්, දින තුනක් පුරා පැවති ජවන හා පිටිය ඉසව් වලින් සමන්විත වාර්ෂික මලල ක්‍රීඩා තරඟාවලියේදී බලඇණි 19ක් නියෝජනය කරමින් සිංහ රෙජිමේන්තුවේ තරුණ ක්‍රීඩකයින් 220ක් පමණ සිය මලල ක්‍රීඩා දස්කම් ප්‍රදර්ශනය කළහ.

තරඟාවලියේ අවසාන දින්යේදී මීටර් 1500, මීටර් 100, මීටර් 400, මීටර් 4 x 100 සහ මීටර් 4 x 400 සහය දිවීමේ අවසන් තරග ආරම්භ වීමත් සමඟම දැවැන්ත උනන්දුවක් සහ ප්‍රීති ඝෝෂා රැල්ලක් ඇති කරමින් ශූරතාවය සඳහා ඒකක සියල්ල තම තරඟ කරුවන් දිරිමත් කළහ.

සමස්ථ තරඟාවලියේ ලකුණු 147ක් ලබා ගනිමින් 15 වන ස්වේච්ඡා බළඇණියේ ක්‍රීඩකයින් ප්‍රථම ස්ථානය ලබා ගත් අතර ලකුණු 137ක් ලබා 7 වන බලඇණිය දෙවන ස්ථානයත්, ලකුණු 63ක් ලබාගත් 4 වන බලඇණිය තෙවැනි ස්ථානයත් හිම්කර ගන්නා ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා සිංහ රෙජිමේන්තුවේ ක්‍රීඩකයින්ගේ දක්‍ෂතාවය පිළිබඳ සතුට පළ කළ අතර ඔවුන් වෙත කුසලාන, සහතික පත්‍ර සහ පදක්කම් බෙදා දෙමින් ඔවුන් වෙත සුබ පැතුම් එක් කළේය.

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සමාප්ති ප්‍රකාශයෙන් අනතුරුව උත්සවයේ සමාප්තිය සිදු විය.

මෙම අවස්ථාව සඳහා 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර, ශ්‍රී ලං සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීන් කිහිප දෙනෙකු, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.