Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

16th May 2025 07:39:20 Hours

විශ්‍රාම දිවියට පා තබන බ්‍රිගේඩියර් රුවන් මුණිපුර ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ගෞරවාචාරය

විශ්‍රාම දිවියට පා තබන ප්‍රගුණ හා සැඟවුනු වෙඩික්කරු පුහුණු පාසලෙහි හිටපු සේනාවිධායක, බ්‍රිගේඩියර් ආර් පි මුණිපුර ආර්ඩබ්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2025 මැයි මස 8 දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරි හට ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබීය. ඉන් අනතුරුව, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියෙහි ගෞරවාචාරය ද පුදකළහ. අනතුරුව, එතුමන් රණවිරු ස්මාරකය අභියසදී එම රෙජිමේන්තුවේ දිවංගත වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකළේය.

පසුව, සියළු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගි වූ එතුමන් එම අවස්ථාව සඳහා සහභාගි වූවන් සමග සුහද පිළිසඳරක ද නිරතවිය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින්, පැවති දිවා භෝජන සංග්‍රහය අතරතුරදී ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) හි නියෝජ්‍ය ආඥාපති හා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ සුරතින් විශ්‍රාම ලබන රෙජිමේන්තු අධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාවට රෙජිමේන්තු මණ්ත්‍රණ සභාවේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් සහභාගි වූහ.