Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

07th February 2018 12:40:36 Hours

ලෙබනන් සාම සාධක කණ්ඩායම සාම සාධක රාජකාරි සඳහා සූදානම්

ලෙබනන් රාජ්‍යයේ සාම සාධක රාජකාරි සඳහා සහභාගි කරවීම වෙනුවෙන් සූදානම් කර ඇති 12 වන ලෙබනන් සාම සාධක කණ්ඩායමේ ධජ භාරදීමේ පෙළපාලිය ඉතාමත් චාම් එහෙත් අභිමානවත් අයුරින් අද දින (7) පෙරවරුවේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය, අඹේපුස්ස කඳවුරේදී පැවැත්විණි.

පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක හා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ පී ද ඉසෙඩ් වික්‍රමරත්න ආර්ඩබ්පී එන්ඩීයූ පීඑස්සී සහභාගි වූ අතර, යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව පිරිනමනු ලබන උත්තමාචාරය එතුමා විසින් පිළිගන්නා ලදී.

මෙම අභිමානවත් පෙළපාලිය සඳහා සාම සාධක කණඩායමේ භට පිරිස් ඇතුලත් කර ඇති රෙජිමේන්තුවල සේනාවිධායකවරුන්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බළඇණිවල අණදෙන නිලධාරින්, යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් විශාල ප්‍රමාණයක් සහභාගි වී සිටි අතර, කණ්ඩායමේ නිලධාරින් සහ සෙසුනිලයින්ගේ ඥාති හිතමිත්‍රාදීන් ද විශාල පිරිසක් පැමිණ සිටින ලදී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වර්ෂ 1978 දී ලෙබනන් රාජ්‍යයේ මෙහෙයුම් ආරම්භ කල අතර, වර්ෂ 2010 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රථම කණ්ඩායම ලෙබනන් සාම සාධක රාජකාරි සඳහා පිටත්කර යැවිණි. එමෙන්ම වර්ෂ 2012 දී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මූලික කරගත් පළමු සාම සාධක කණ්ඩායම ලෙබනන් රාජ්‍යය බලා පිටත්ව ගිය අතර, මෙම කණ්ඩායම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මූලිකත්වය ගනු ලබන දෙවන අවස්ථාව වේ.

150 දෙනෙකුගෙන් සමන්විත මෙම සාම සාධක කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකා රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකාය, යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය වෙතින් භට පිරිස් තම දායකත්වය සපයා ඇත.

2018 පෙබරවාරි මස 18, 19 සහ මාර්තු මස 06 දින ලෙබනන් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිත මෙම කණ්ඩායමට අණදීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් ආර් ඩබ් කේ හේවගේ ආර්ඩබ්පී ආර්එස්පී විසිනි.