Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

27th May 2018 22:58:34 Hours

අභිමංසල - 03 හි නේවාසික ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු විරුවෙක් යුග දිවියට

රට ජාතිය සුරකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් සටන් වැද කුරිරු ත්‍රස්ත ප්‍රහාරයක් හමුවේ ආබාධිත තත්වයට පත්වු 7 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් සැරයන් ඒකනායක ඊ ඒ එස් පාන්ගොල්ල අභිමංසල - 03 හි නේවාසික ප්‍රතිකාර ලබාන රණවිරුවෙකි. ඔහුගේ ජීවනමගෙහි නව පිටුවක් පෙරලමින් 2018 මැයි 24 වන දින අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ඉහල මාබුල පදිංචි මධුමි ලංකා හේමමාලි මෙනවිය සමග අතිනතගැනීමේ මහෝත්සවය සිදුකරනු ලැබුවේ පැමිණ සිටි සියළුම දෙනාගේ ආශිර්වාද මධ්‍යයේය.

මෙම විවාහ මංගල උත්සවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපති තුමිය වන රුවිනි සුජීවා වික්‍රමරත්න මහත්මියගේ සංකල්පයක් ලෙස සිංහ සේවාවනිතා ශාඛාව මගින් සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සෘජු අධීක‍්ෂණය හා මගපෙන්වීම යටතේය.

නව විවාහපත් යුවල වෙනුවෙන් සාක්ෂි අත්සන් කිරීම සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති තුමිය වන අනෝමා ෆොන්සේකා මහත්මිය හා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් අතින් සිදුවිය.

මෙම මංගලොත්සවය සියළුම සාම්ප්‍රධායික මංගල චාරිත්‍රයන්, එනම් පෝරුව චාරිත්‍ර, මංගල කේක් කැපීම, කච්චිකිරිකඩය ලබාදීම, පහන් දැල්වීම් ආදී සියළුම අංගයන්ගෙන් සමන්විත වූ අතර ශ්‍රී ලංකා යුධ හමුදා සංගීත වෘන්දධයේ මියුරු සංගීතයෙන් හා යුධ හමුදා නර්ථන ශිල්පින්ගේ මනස්කාන්ත නර්ථන අංගයන්ගෙන් වර්ණවත් විය.

මෙම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් වශයෙන් රණවිරු සේවා අධිකාරියේ ගරු සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය, සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා වික්‍රමරත්න මහත්මිය සමගින් සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න එක්වුහ.

මේජර් ජෙනරාල් චන්දන රාජගුරු (විශ්‍රාමික), මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන, මේජර් ජෙනරාල් එල්.එෆ් කස්තුරිආරච්චි, බ්‍රිගේඩියර් හේමන්ත කුලතුංග, සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල, සිංහ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරින් සහ සෙසුනිලයින්, දෙපාර්ශවයේ ඥාති හිතමිත්‍රාදීන් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.