Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

10th January 2022 21:46:13 Hours

අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදු කෙරේ

බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සුවය ලැබීමෙන් පසුව ඇතිවු සංකූලතාවයක් හේතුවෙන් මුල්ලේරියාව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සිකුරාදා (31) දින හදිසියේ අභාවප්‍රාප්ත විය. ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 563 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කල අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (3) දින කඩවත, ඇල්දෙණිය සුසාන භූමියේදී පුර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකෙරිණි. එම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පවුලේ සාමාජිකයින් සහ තවත් ශෝකයට පත් පිරිසක් සහභාගී වූහ.

පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමේ අවස්ථාවට යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සහභාගී වූහ. තවද එම අවස්ථාවට යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ඇතුළු තවත් නිලධාරින් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු සහභාගී වූහ.

වර්ෂ 1990 නොවැම්බර් මස 3 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වු බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා පාබල හමුදා සාමාජිකයෙකු ලෙස ‘ජය සිකුරු’, ‘රිවිරැස’, ‘එඩිබල’, ‘කිණිහිර’, ‘අග්නිකීල’ සහ වන්නි මානුෂීය මෙහෙයුම් ඇතුළු මාතෘභූමිය ආරක්‍ෂා කිරීම උදෙසා දියත් කළ මෙහෙයුම් රැසකට සිය නිර්භීත දායකත්වය ලබාදී ඇත.

බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයන් දිරිගැන්වීමට බෙහෙවින් කැපවී ක්‍රියාකල ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිකුත් කරන ලද විශේෂ 1 වන කොටසේ නියෝගයේ සඳහන් කර ඇත.

බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා ගේ දේහය කාතුගැල (gun carriage) මත තැන්පත් කර ජාතික ධජයෙන් ආවරණය කර හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන එන ලදී. අවමංගල්‍ය පෙරහැර සුසාන භූමියේ ප්‍රධාන දොරටුව වෙත ළඟවීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් දේහය ආදාහනාගාරය වෙත රැගෙන යන ලදී. එම අවමංගල්‍ය පෙරහැරට අභාප්‍රාප්ත බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා ගේ ඥාතීන් ද එක්වූහ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් අවමංගල්‍ය අවස්ථාවට සහභාගී වූ සෑම ඉදිරියේ ප්‍රකාශ කරන ලදී.

ඉන් අනතුරුව, අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වෙත පිරිනමනු ලබන ඉහළම ගෞරවාචාරය පුද කරමින් කාලතුවක්කු වෙඩි මුර ගුවනට මුසු කරමින් අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා ගේ දේහයට හමුදා සම්ප්‍රදායානුකූලව අවසන් ගෞරව දැක්වූහ.

යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූලව හිරු නැගෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වාදනය කරන යුද්ධ හමුදා බියුගල් නාදය මධ්‍යයේ අවමංගල්‍ය සභාවේ රැස්ව සිටි සියල්ලන්ම සංවේගයට පත් කරමින් අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරිණි.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්ව අභාවප්‍රාප්ත බ්‍රිගේඩියර් පණ්ඩුක පෙරේරා විසින් සිය යුද්ධ හමුදා දිවිය තුළදී ලබාගත් පදක්කම් සහ පලඳනා ඥාතීන් වෙත භාරදීම සිදුකරන ලදී.