Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

08th January 2024 21:43:25 Hours

12 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දිවංගත සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නව නිවසක් ඉදිකෙරේ

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘රණවිරු නිවාස ව්‍යාපෘතියේ’ 8 වන අදියර මඟින් මීට මාස කිහිපයකට ප්‍රථම ස්නායු ආබාධයක් හේතුවෙන් හදිසියේ අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.

12 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත එම ඒකකයේ දිවංගත සැරයන් ඒ.එම්. සෙනවිරත්න බණ්ඩා ගේ ගුණානුස්මරණය කරමින් ඔහුගේ භාර්යාව සහ දරුවන් තිදෙනා වෙත රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ ඉදිකළ නව නිවස පරිත්‍යාග කරනු ලැබීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන සහභාගී විය. එමෙන්ම, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඔමිලා ජයවර්ධන මහත්මිය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස්. තිබ්බොටුගේ සහ 12 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.සී.එස්. ජයසේකර ප්‍රමුඛ එම ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

12 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම භාවිතා කරමින් ඉදිකරනු ලැබූ මෙම නව නිවස නිදන කාමර තුනක්, කෑම කාමරයක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයකින් සමන්විත විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඔමිලා ජයවර්ධන මහත්මිය ගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ මූල්‍යමය දායකත්වය මත නව නිවස සඳහා අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ මිලදී ගනු ලැබීය.

බ්‍රිගේඩියර් සී.එස්. තිබ්බොටුගේ සහ ලූතිනන් කර්නල් එම්.සී.එස්. ජයසේකර මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු අධීක්‍ෂණය කරමින් එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය දායකත්වය ලබාදුන්හ.