Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

06th October 2021 17:28:11 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 65 වන සංවත්සරයට සමගාමීව සුභසාධන ව්‍යාපෘති රැසක්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 65 වන සංවත්සරය 2021 ඔක්තෝබර් මස 01 වන දිනයට යෙදී තිබිණි. ඒ වෙනුවෙන් සංවත්සර වැඩසටහනක් අඹේපුස්ස පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ධම්මික දිසානායක විසින් පිළිගත්තේය.

ඉන් අනතුරුව, ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර වෙත පිරිනැමීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් සරඹ භූමියේ පිහිටි විශේෂ පීඨිකාව වෙත කැටුව පැමිණිමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමුවේය.

ඉන් අනතුරුව, රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරන ලද ‘සිංහ කැෆේ’ දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය පීත්ත පටිය කපා රෙජිමේන්තු අධිපතිගේ සුරතින් විවෘත කෙරිණි.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම උදෙසා සිය ජිවිත පූජා කළ යුද්ධ හමුදා සාමාජිකයින් 3,929 දෙනෙකු සිහිපත් කරමින් රෙජිමේන්තු අධිපතිතුමන් ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් රෙජිමේන්තු මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පූෂ්පෝපහාර පුද කළහ.

මෙම උත්සවයට සමගාමීව එදින රාත්‍රියේ මහා සංඝරත්නය විසින් සර්ව රාත්‍රික සෙත්පිරිත් සඡ්ඣායනාවක් පවත්වමින් රෙජිමේන්තුවට, යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ආශිර්වද එක් කළ අතර රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ට පිං අනුමෝදන් කළහ.

පසුදින (02) උදෑසන මහාසංඝරත්නය උදෙසා හීල් දානය පූජා කිරීමෙන් අනතුරුව උත්සව කටයුතු අවසන් විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.

මෙම උත්සවය කොවිඩ්-19 සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්විණි.