Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

21st May 2020 15:52:24 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපතිතුමන් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 13 වන රෙජිමේන්තු අධිපති ලෙස මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න 2020.05.18 වන දින සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී හමුදා සම්ප්‍රදායානුකූලව සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබීය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව රෙජිමේන්තු අධිපතිතුමන්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව නව රෙජිමේන්තු අධිපතිතුමන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තබා රටදැය වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන්ට පුෂ්පෝපහාර පුද කළේය.

නව රෙජිමේන්තු අධිපතිතුමන් ලෙස පත්වූ මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරි කටයුතු භාරගනු ලැබීය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේවය කරන සියලුම මාණ්ඩලික නිලධාරීන් සහභාගී වූහ.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කළ නව රෙජිමේන්තු අධිපතිතුමන් බළලත් නිලධාරී හා සැරයන් නිවස්නයේ පැවැති සියලු නිල තේපැන් සංග්‍රහයකට එක්වෙමින් භටපිරිස් සමග සිය අතීත මතකයන් ආවර්ජනය කරමින් සුහද පිළිසදරක නිරත වූහ.

මේජර් ජෙනරාල් සෙනෙවිරත්න සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් අමතමින් රෙජිමේන්තුවේ සහ යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා කණ්ඩායමක් ලෙස වැඩකිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

පසුව, මෙම අවස්ථාවට සුවිශේෂි මතකයක් එක් කරමින් නව රෙජිමේන්තු අධිපතිතුමන් සියලු අයවලුන් සමගින් සමුහ ඡයාරූපයකට පෙනී සිටිමෙන් අනතුරුව පැවැති විශේෂ දිවා භෝජන සංග්‍රහයකට එක්වූහ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඔවුන්ගේ භාර්යාවන්, සියලුම මාණ්ඩලික නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.