Header

Sri Lanka Army Volunteer Force

13th April 2024 14:59:26 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ බළකාධිපති මේජර් ජෙනරාල් එම් කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් 2024 සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කරනු ලබන සුභාශිංසන පණිවුඩය

හෙළයේ මහා මංගල්‍යය ලෙස ශ්‍රී ලංකිකයන් විසින් වාර්ෂිකව සමරනු ලබන සිංහල හා දමිළ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළසේනා සේනාවිධායක ලෙස සියලුම ස්වේච්ඡා සාමාඡිකයන් වෙත සුබ ප්‍රාර්ථනා එක්කරමින් මෙසේ සුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම මාගේ භාග්‍යයක් කොට සලකමි.

මංගල මාසය හෙවත් බක් මාසයේදී පරිසරය පවා නැවුම් වන කාලපරිච්ඡේදයක් වන අතර, සමස්ත පරිසරයටම ශක්තිය සපයන සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමග අලුත් අවුරුදු උදාව සිදුවන බව ජ්‍යෝතිෂ ශාස්ත්‍රයේ සඳහන් වේ. මෙම සුවිශේෂී සංස්කෘතික මංගල්‍යයේ මූලික පරමාර්ථය වනුයේ පුද්ගලයින් අතර පවත්නා අන්‍යෝන්‍ය සබඳතා මෙන්ම මිනිසුන් හා පරිසරය සමග පවතින සබඳතාවලට නැවුම් අරුතක් එක් කරමින් ඒ සබඳතා ශක්තිමත් කිරීමයි.

අලුත් අවුරුදු උදාව සියලු දෙනාට සතුට, සැනසුම ගෙන දෙන, බැඳීම් අලුත් කරන සංස්කෘතික මංගල්‍යයක් වන අතර මෙම කාලපරිච්ඡේදයේදී තම රාජකාරි ස්වභාවය හේතු කොට ගෙන නිවසට නොගොස් කඳවුරුවල රාජකාරී නියුතු සොල්දාදුවන් සියලු දෙනා මේ අවස්ථාවේදී විශේෂයෙන් සිහිපත් කරමි. එසේම විජයග්‍රාහී හමුදාවක විරෝදාර සෙබඵන් ලෙස මාතෘ භූමියේ නිදහස් නිවහල්භාවය උදෙසා ක්‍රියාකර අනාගත සුඛිත මුදිතභාවය වෙනුවෙන් ස්වේච්ඡා බළසේනා සාමාජිකයින් විසින් කළ අපරිමිත කැපකිරීම් මේ අවස්ථාවේදී කෘතඥතාපූර්වකව සිහිපත් කරමි.

සමස්ත දේශයේ හා ජනතාවගේ ආරක්‍ෂකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කරන අතර, යුද හමුදා සාමාජිකයන් කවර අභියෝග හමුවේ වුවද නොසැලී කටයුතු කිරීම අවශ්‍ය වේ.අනපේක්ෂිතව මුහුණුදීමට සිදුවන කවර හෝ ස්වභාවික ආපදාවලදී, ව්‍යසනකාරී තත්වයකදී ජනතාවගේ ජීවන තත්වය නගාසිටුවීම සඳහා ක්‍ෂණිකව ඉදිරිපත් වන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා සාමාජිකයින් වන ඔබ සියලු දෙනාද එම කාර්යභාරය වෙනුවෙන් එදා අද මෙන්ම හෙටත් කැපවිය යුතුයි.

සුවිශේෂී හැකියාවන්ගෙන් යුත් දක්‍ෂ පුද්ගලයින් රැසක් සිටින ස්වේච්ඡා බළසේනාව සමස්ත යුද හමුදාවටත් උපන් දේශයටත් ඵලදායක ලෙස දායක කර ගැනීමට හැකි පරිසරය නිර්මාණය කිරීම, අප සියලු දෙනාගේ වගකීම වේ. එනම් අනාගත ශ්‍රී ලංකාවේ සංවර්ධනය උදෙසා තම වෘත්තීමය ශක්‍යතාව උචිත ලෙස යොදා ගනමින් රට අපේක්ෂා කරන දැනුමින්, ආකල්පවලින් හා කුසලතාවලින් යුතු විනයවත් සොල්දාදුන් පිරිසක් ලෙස තම රාජකාරිය ඉටුකිරීමට උදා වූ අලුත් අවුරුද්දේ ඔබ සියලු දෙනා අධිෂ්ඨාන කරගත යුතු වේ.

යුදමය කාලවකවානුව තුළදී, මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදූ ස්වේච්ඡා සාමාඡිකයින් සියලු දෙනා මේ අවස්ථාවේදී ගෞරවයෙන් යුක්තව සිහිපත් කරන අතර රණක්ෂිතයට පත්ව අදටත් ප්‍රතිකාර ලබන විරු සාමාඡිකයින් සියලු දෙනාටත් වර්තමානයේදී රාජකාරියේ නිරත ස්වේච්ඡා සාමාඡිකයින් සියලු දෙනාටත් සිවිල් සේවක මහතුන් ඇතුඵ සිය පවුල්වල සැමටත් උදාවන සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවායි හෘදයංගමව ප්‍රාර්ථනා කරමි.

2024 අප්‍රේල් මස දින

එම් කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ
මේජර් ජෙනරාල්
සේනාවිධායක ශ්‍රීලංයුහසෙව්බ