Header

Sri Lanka Army Volunteer Force

01st January 2023 01:00:47 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක විසින් 2023 නව වසර වෙනුවෙන් නිකුත් කරනු ලබන සුභ පැතුම් පණිවුඩය

වසර එකසිය පනහකට ආසන්න ප්‍රෞඪ ඉතිහායකට උරුමකම් කියමින් මාතෘ භූමියේ සුරක්‍ෂිතභාවය වෙනුවෙන් අසම සම මෙහෙවරක් ඉටු කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ අභිමානවත් සාමාජිකයින් වන ඔබ සියලු දෙනා වෙත උදාවූ 2023 නව වසරේ සුභාශිංසන එක් කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සලකමි.

අපගේ මාතෘ භූමියේ ජාතික ආරක්‍ෂාව ප්‍රමුඛත්වයෙලා නිරන්තරයෙන්ම ඒ සඳහා කැපවූ විනයගරුක හා වෘත්තිමය නිපුණත්වයෙන් යුතුව ජාතික මෙහෙවර නොපිරිහෙලා ඉටු කරන අපගේ බලසේනාව අනෙකෙකුට සමකල නොහැකි ඉතා සුවිශේෂි පිරිසක් බව මා මෙහිදී සිහිපත් කරමි. අපගේ අභිප්‍රාය සහ අධිෂ්ඨානය නිරතුරුවම රට රකින ජාතිය ලෙස තේමා කරගත් උදෘත පාඨය පෙරදැරිව ඒ සඳහා ඉල්කකගතව ගමන් කිරීමට ඔබ කරන්නා වූ සුවිශේෂි මෙහෙවර මා අතිශයින් අගය කිරමි.

උදා වු 2023 නව වසරේ දී අප සාමුහිකව සියලු අභියෝගයන්ට නොබියව මුහුණ දී ඒ සියල්ල ජයග්‍රහණය කිරීමට අප සියලු කාර්යයන් සම්පාදනය කළ යුතුය. ඒ සඳහා වන ශක්තිය, ධෛර්යය හා අත්දැකීම් ඔබ සතු බව මා නිවරදිව පසක් කර ගෙන ඇත්තෙමි. කැපවීම, අධිෂ්ඨානය, අවංකභාවය සහ සාමුහික හැඟීම ඒ සඳහා ඇති මූලික ජයග්‍රාහක කරුණු බව නැවත නැවතත් අවධාරණය කරමි. ජාතික ආරක්‍ෂාව මෙන්ම ඒ හා සම්බන්ධ අනෙකුත් අනේක වු ජාතීක සංවර්ධන කටයුතුත්, සමාජ සවිබල ගැන්වීමේ ක්‍රියාකරකම් වලදීත්, ඒ හා සමානවම ඕනෑම ව්‍යසන අවස්ථාවකදීත් අප පෙරමුණගෙන සමාජ මෙහෙවර ඉෂ්ඨ සිද්ධ කර ඇතිබව අප හොදින්ම දන්නා කාරණාවක් වේ. අදත්, මතුවටත් අපගේ සමාජ සත්කාරක ජාතික මෙහෙවර ප්‍රමුඛත්වයෙලා කටයුතු කිරීමට ලැබුවා වූ නව වසරේදී අප තේමා කර ගත යුතු බව මා විශ්වාස කරමි.

වරෙක රණ බිමෙහිත්, තවත් වරෙක කෙළී බිමෙහිත්, එකසේ දික්විජය කළ ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සාමාජිකයින්, වර්තමානයෙහි අපගේ මාතෘ භූමිය මුහුණපා ඇති ආර්ථික අසමතුලිතතාවය සමතයට පත් කර සාමාන්‍යය ජන ජීවිතය යථාවත් කිරීමෙහිලා දක්වන්නා වු ඒ අසමසම දායකත්වය මා මේ මොහොතේ ඉතා ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි. ලැබුවා වු නව වසරේදී ස්වේච්ඡා බලසේනාවේ සියලු සමාජිකයින්ගේ සුභ සාධක කටයුතු විධිමත්ව වැඩිදියුණු කොට ක්‍රියාත්මක කිරිමේ අරමුණින් මේ වන විටත් පිඹුරුපත් සකස්කර ඇත. ඔබ මෙන්ම, ඔබගේ පවුල්වල ගෘහස්ථ සමාජිකයිගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අධිෂ්ඨාන පෙරදැරිව පුළුල් පරාසයක ක්‍රියාත්මක කිරීමට ඉලක්කගත සුභ සාධක කටයුතු වෙන විටත් සකස් කර අවසාන වී ඇති බව මෙහිදී විශේෂයෙන් සඳහන් කරමි.

අපගේ ඉතිහාසය පුරාවටම මව්බිමේ සුරක්‍ෂිතභාවය හා මාතෘ භුමියෙහි හෙට දවස උදෙසා තම අමිල ජීවිතය පරාර්ථකාමිව මිහිතලයට මුසු කල විරෝධාර රණවිරුවන් මේ මොහොතේදී මා ගෞරව අභිමාණයෙන් යුතුව සිහිපත් කරමි. ඔවුන්ගේ දෙමාපියන් ඇතුළු පවුලේ සාමාජිකයන් වෙත මා හිස නමා ආචාර කරමි. ඒසේම මාතෘ භූමියේ ඒකීය භාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කාය දානය කර රණක්‍ෂිතයට පත් සියලුම වීරෝධාර රණ විරුවන් හට ඉක්මන් සුවය ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි. එවන් වු අභිමානනීය වු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සාඩම්බර සාමාජිකයින්වන ඔබ සැම හිමිකරගෙන සිටින්නා වු කීර්ති නාමය ලැබුවා වු නව වසරේදීත්, ඉන් ඔබ්බටත් ආරක්‍ෂා කර ගන්නට අවශ්‍ය සියලු ශක්තිය හා ධෛර්ය නොඅඩුවම ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

වසරක් ගෙවී නව වසරක් උදා වු මේ මොහොතේ, ඔබටත් නිබඳව ඔබට ශක්තියක් වූ ඔබගේ ආදරණීය පවුලේ සියලුම සාමාජිකයින්ටත්, අපගේ බලසේනාවේ අද දිනය සශ්‍රික කිරීමට විශිෂ්ට මෙහෙවරක් ඉටු කර විශ්‍රාම ලැබූ සියලුම සාමාජිකයන්ටත්, සෑම මොහොතකම අපට ශක්තියක්වන සියලුම සිවිල් සේවක මහත්ම මහත්මීන්ටත්, ඔවුන්ගේ පවුල්වල සියලුම සමාජිකයින්ටත් ලැබුවා වු නව වසර සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභ නව වසරක් වේවායි මා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

උදාවූ 2023 නව වසර සියලු අපේක්‍ෂා මල්ඵල ගැන්වෙන සුභ නව වසරක් වේවා !

ඩබ්ලිව් ඒ එස් එස් වනසිංහ ආර්එස්පී යුඑස්පී

මේජර් ජෙනරාල්

සේනාවිධායක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සිවේච්ඡා බලසේනාව