Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

11th January 2026 16:04:11 Hours

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් බලපෑමට ලක් වූ අයවලුන් සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙන් මුදල් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය සිය සාමාජිකයින්ගේ සුභසාධනය සඳහා, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බලපෑමට ලක් වූ නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවකයින් වෙත මුදල් පරිත්‍යාග වැඩසටහනක් රෙජිමේන්තු මන්ත්‍රණ සභාව විසින් ගනු ලැබූ සංකල්පමය තීරණයකට අනුව සංවිධානය කරන ලදී.

මෙම අර්ථවත් සුභසාධන වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී කේ එස් කේ දොලගේ යූඑස්පී එන්පීඑස් පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 2026 ජනවාරි 11 වන දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම වැ:බ ඉංජිනේරු සේනාංකාධිපති සහ ක්ෂේත්‍ර ඉංජිනේරු බලසේනාධිපති බ්‍රිගේඩියර් එච් කේ පී කරුණාතිලක ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් නිසි ලෙස පත් කරන ලද මණ්ඩලයක් මඟින් සිදු කරන ලදී. මෙම ක්‍රියාවලිය තුළ, සාධාරණත්වය සහ විනිවිදභාවය සහතික කරමින්, අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරී කොට්ඨාශවලින් අවශ්‍ය තොරතුරු ලබාගනිමින්, සම්පූර්ණ තක්සේරුවක් සිදුකිරීමෙන් අනතුරුව, මුල්‍යාධාර අවශ්‍යම පුද්ගලයින් තෝරා ගැනීම සිදු කරමින්, පීඩාවට පත් නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවකයින් 25 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.4 ක මුළු මුදලක්, මුල්‍යාධාර ලෙස ලබාදීම සිදුකරන ලදී.

රැස්ව සිටි පිරිස අමතමින් කර්නල් සේනාවිධායකතුමන්, අයහපත් හා අභියෝගාත්මක කාලවකවානුවලදී මෙම බලකා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල් රැකබලා ගැනීම සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය නිරන්තරයෙන් කැපවී සිටින බවත්, එකම පවුලක් ලෙස ඔවුන් සමඟ ශක්තිමත්ව සිටින බවත් අවධාරණය කරන ලදී. තවද, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් සිදු කරන ලද ආපදා සහන මෙහෙයුම්, විශේෂයෙන් අත්‍යවශ්‍ය මහජන සේවාවන් ප්‍රතිස්ථාපනය කිරීම, ප්‍රධාන යටිතල පහසුකම් නඟා සිටුවීම සහ දිවයින පුරා දිට්වා සුළිකුණාටුවෙන් බලපෑමට ලක් වූ ප්‍රජාවන් සඳහා ලබාදුන් තිරසාර සහයෝගය ඇගයීමට ලක්කළ අතර, වර්තමාන රජය සහ මුළුමහත් ජනතාව හමුවේ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය මහත් ප්‍රශංසාවට ලක්වූ අයුරු වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

මෙම අර්ථවත් වැඩසටහන සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් සහ අනෙකුත් නිලයින් සහභාගී වූහ.