Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

20th December 2020 18:24:16 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නව කර්නල් සේනාවිධායක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 18 වන කර්නල් සේනාවිධායක ලෙස පත්වීම් ලද ආරක්‍ෂක මූලස්ථාන පරිශ්‍රයේ ව්‍යාපෘති කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් කුමාර පීරිස් පසුගිය අඟහරුවාදා (15) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මූලස්ථානය වෙත සපැමිණි අතර, එහිදී එතුමන් වෙත රෙජිමේන්තුවේ සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබිණි.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන වසර 36 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් පසුගිය දා විශ්‍රාම දිවියට පා තැබීය.

එම මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායක ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් මංගල මායාදුන්න විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමූහ. ඉන් අනතුරුව, මේජර් ජෙනරල් කුමාර පීරිස් එම රෙජිමේන්තුවේ පිහිටි මියගිය රණවිරුවන් ගේ ස්මාරකය වෙත ගොස් මවුබිමේ එ්කීයභාවය වෙනුවෙන් දිවිපීදු වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුද කළේය.

ඉන් අනතුරුව, නව කර්නල් සේනාවිධායකතුමන් වෙත ගෞරවාචාර පුදකිරීම වෙනුවෙන් රෙජිමේන්තු සරඹ භූමියේ පිහිටි විශේෂ පීඨිකාව වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ. පසුව, මේජර් ජෙනරාල් කුමාර පීරිස් සිය රාජකාරි කටයුතු භාරගැනීම වෙනුවෙන් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබන ලදී. ඉන් අනතුරුව, නව කර්නල් සේනාවිධායකතුමන් එම රෙජිමේන්තුවේ එන්.කේ.බී. අංගමම්මාන අනුස්මරණ ශාලාවේදී නිලධාරින් ආමන්ත්‍රණය කිරීමෙන් පසුව රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි උපයෝගිතා ගොඩනැගිල්ලේ දී පැවති සියලු නිල තේ පැන් සංග්‍රහය මෙම උත්සවයේ අවසානය සනිටුහන් කළහ.