Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

14th April 2020 15:12:15 Hours

වර්ෂ 2020 සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක විසින් නිකුත් කරනු ලබන සුභාශිංසන පණිවුඩය

වර්ෂ 2020 සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක විසින් නිකුත් කරනු ලබන සුභාශිංසන පණිවුඩය ශ්‍රී ලංකාවාසී සිංහල හා දමිළ ජනතාව විසින් චිරාගත සම්ප්‍රදායානුකූලව සමරනු ලබන, සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන්, ඉංජිනේරු බලකායේ සාමාජිකයන් වන ඔබ සැම වෙත මාගේ හෘදයාංගම සුභාශිංසනය මෙසේ පිරිනමමි.

සූර්යයා මීන රාශියෙන් නික්ම, මේශ රාශියට සම්ප්‍රාප්ත වීමත් සමග අලුත් අවුරුදු උදාව සනිටුහන් වේ. සුවිශේෂී සංස්කෘතික මංගල්‍යයක් ලෙස වාර්ෂිකව සමරනු ලබන මෙම ජාතික උත්සවයෙහි මුඛ්‍ය පරමාර්ථය වනුයේ මිනිසා සහ පරිසරයත්, මිනිසුන් අතරත් පවත්නා සම්බන්ධතාවයන් වර්ධනය කරගනිමින්, එක්සිත්ව එක්සත්ව ඉදිරි වසර සදහා සුභවාදී සිතිවිලි සහිත ක්‍රීයා කිරීම ආරම්භ කිරීමයි.

රටෙහි සියළු පුරවැසියන්ට අද වන විට සහජීවනයෙන් යුතුව ජීවත්විය හැකි සාමකාමී වාතාවරණයක් ගොඩනැගීම උදෙසා අනෙකුත් සියළු ආරක්ෂක හමුදා හා යුද්ධ හමුදා සියළු රෙජිමේන්තු සාමාජිකයන් සමග ඉංජිනේරු බලකා සාමාජිකයින්ද ඉතිහාසය පුරාවටම සිදුකරන ලද කැපකිරීම සුළුපටු නොවේ. ඒම කැපකිරීම් මගින් දශක ගණනාවක් මුළුල්ලේ මුළු රටම වෙලාගෙන තිබූ මිලේච්ඡ ත්‍රස්ථවාදය මුලිනුපුටා දමා නිදහසේ අරුණැල්ල සමස්ථ දේශය තුලම තහවුරු කල හැකිවිය. එසේ අපමණ කැපකිරීම්, දිවිහිමියෙන් ලද උදාර නිදහස යලි අහිමි නොවන ලෙස පවත්වාගෙන යාමේ ඒ්කායන වගකීම අද, හෙට සහ මතුවටත් පැවරී ඇත්තේ රට රකින ජාතිය වන අප සියළු දෙනා වෙතයි.

රටෙහි සියළු පුරවැසියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම හා රටෙහි භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කිරීමේ ප්‍රධානතම වගකීමට අමතරව, කාලීනව අප වෙත පැවරෙන වෙනත් ඔිනෑම ජාතික මෙහෙවරකදී කැපවීමෙන් යුතුව ඉටුකිරීම සදහාද අප බැදී බවතී. එමෙන්ම රටේ සියළු තරාතිරම්වල පුරවැසියන්ගේ සිත්සතන් තුල යුද්ධ හමුදාව කෙරෙහි පවතින ගෞරවය සහ විශ්වාසය පළුදුවීමකට ලක් නොකොට ඒය තවදුරටත් වර්ධනය වන පරිදි ඉදිරියටත් අඛණ්ඩව කටයුතු කිරීම අප සතු වගකීමකි.

වර්ථමානයේ ලෝකයේ COVID 19 නැමැති කොරෝනා වසංගතය ව්‍යවසනකාරී ලෙස නගර ගම් හරහා සීග්‍රයෙන් පැතිර යන බව ඔබ සැවොම දන්නා කරුණකි. මේ මොහොතේ එයට සාර්ථකව මුහුණ දෙමින් අප රටෙන් මෙම ව්‍යසනය තුරන් කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉංජිනේරු බලකායේ සාමාජිකයන් වන අපගේ දායකත්වය ඒ් සදහා ලබාදෙමින් සිටී. මෙම වෛරසය අපගේ මාතෘ භූමියෙන් තුරන් කර දැමීමට කැපවීමෙන් හා ස්වයං විනයෙන් කටයුතු කිරීම සදහා ගෞරවණීය හමුදාවක සාමාජිකයන් වශයෙන් අප අදිටන් කර ගත යුතු අතර, ඔබ‌ගේ පවුල් වල සාමාජිකයන්ද ඒ සදහා එක්කර ගැනීමටද කටයුතු කල යුතුය.

අභිමානනීය යුද්ධ හමුදාවක සාඩම්බර සාමාජිකයින් වශයෙන් මේ වන විට ඔබ සැම ලබා ඇති ගෞරවය සහ ප්‍රණාමය තවදුරටත් ආරක්ෂා කරමින්, ඉදිරියේදීත් මෙම බලකායට පැවරෙන රාජකාරීන් නිසි අයුරින් ඉටුකිරීම සදහා ඇවසි සියලු ශක්තිය, ධෛර්ය හා වාසනාව මතු අනාගතයේදීත් ඔබ වෙත නිරතුරුව ලැබේවායි මෙම අලුත් අවුරුදු උදාවේදී මම ප්‍රාර්ථනා කරමි. එමෙන්ම දේශයේ ස්වෛරීත්වය වෙනුවෙන් සටන්වැද, ජීවිත පරිත්‍යාග කල ඉංජිනේරු බලකා රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත්, රණක්ෂිතයට පත්ව සිටින රණවිරුවන්ට ඉක්මන් සුව ප්‍රාර්ථන කරන්නෙමි.

තවද, රට වෙනුවෙන් දිවිපිදූ අභීත රණවිරුව්ගේ පවුල්වල දුවා දරුවන් ඇතුළු ඥාතීන්හටද, අද වන විට මෙම බලකාය තුල සුවිශාල මෙහෙවරක් සිදුකරනු ලබන සියළුම රණවිරුවන් හා ඔවුන්ගේ ඥාතීන් ඇතුළු පවුලේ සියළු දෙනා හටද, ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමය, සතුට හා සෞභාග්‍යයෙන් පිරි, නිරෝගීභාවයෙන් රැදි සුභ අලුත් අවුරුද්දක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

තවද, ක්‍රියාන්විතයේදී හා වර්ථමානයේදී ද අප සමග උරෙන් උර ගැටෙමින් විවිධ තරාතිරම්වල රාජකාරී ඉටු කරනු ලබන සිවිල් සේවක කාර්ය මණ්ඩලයටත්, ඔවුන්ගේ ඥාතීන් ඇතුළු පවුලේ සියළු දෙනාටත් ලබන්නා වූ අලුත් අවුරුද්ද සාමය, සතුට හා සෞභාග්‍යයෙන් පිරි, නිරෝගීභාවයෙන් රැදි සුභ අලුත් අවුරුද්දකට සුභ පැතුම් එක් කිරීමට මෙම අවස්ථාව මම උපයෝගී කර ගනිමි.

ඔබ සැමට බත බුලතින් සපිරි නිරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා !

මේජර් ජෙනරාල් එච් ජේ එස් ගුණවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී

කර්නල් සේනාවිධායක