Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

11th November 2020 11:22:15 Hours

ඉංජිනේරු බලකා 69 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්ජේඑස් ගුණවර්ධන ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීසී පීඑස්සී විසින් නිකුත් කරනු ලබන පණිවිඩය

“මවිබිම ගෞරවය සේවය” ආදර්ශ පාඨය මුල්කර ගනිමින් අප මාතෘ භුමියේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය හා ස්වාධිපත්‍ය වෙනුවෙන් අනගිභවනීය මෙහෙවරක් ඉටුකරන ශ්‍රි ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය ආරම්භ වී අදට පුරා වසර 69 ක ස්වර්ණමය කාලපරිච්ජේදයක් සම්පූර්ණ වී තිබේ. මෙම සාඩම්බර 69 වන සංවත්සරය වෙනුවෙන් ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප‍්‍රධාන සහ ඉංජිනේරු බලකා වත්මන් කර්නල් සේනාවිධායක වශයෙන් මාගේ හෘදයාංගම සුභාශිංසන මෙසේ පළකරමි.

ඉංජිනේරු බලකායේ නිර්මාතෘ වන බ්‍රිගේඩියර් පීඩී රාමනායක ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු විශ‍්‍රාමික සහ දැනට සේවයේ නියුතු බළකායේ සියළු නිලධාරින් සහ සෙසු නිළයින් බලකායේ දියුණුව හා ජාතික ආරක්‍ෂාව මව්බිමෙහි සංවර්ධන රාජකාරි සදහා ඉටුකල මහගු සේවය ඉතා ගෞරව පූර්වකව සිහිපත් කරන අතර, ඔවුන් හට ස්තුතිය පුද කිරිමට මා මෙය අවස්ථාවක් කරගන්නෙමි.

මාතෘ භුමියේ සියළු පුරවැසියන්ගේ ජාතියේ පැවැත්ම වෙනුවෙන් ගෙවීගිය වසර 69 ක ප්‍රෞඩ ඉතිහාසය තුල ඇතිවූ විවිධ තර්ජන හා අභියෝගයන් ජයගැනීමෙහිලා සාර්ථකව මුහුණුදෙමින්, ශී‍්‍ර ලංකා ඉංජිනේරු බලකාය ජාතික ආරක්‍ෂාවට හා සංවර්ධන රාජකාරින් සදහා අමිල සේවාවක් ඉටුකරන ලද ගෞරවණීය හමුදාවක ප‍්‍රමුඛතම සාමාජිකයන් පිරිසක් වේ. මෙම පුරෝගාමි ජාතික මෙහෙවර හේතුවෙන් මාතෘ භුමිය තුල වර්තමානයේ නිර්මාණය වී තිබෙන සාමකාමි හා නිදහස් පරිසරය ගොඩනැගී තිබෙන බව සියලු රටවැසියන් අවිවාදයෙන් පිලිගන්නා කරුණක් වී තිබෙන බව සිහිපත් කරන අතර, ඔබද එහි සාඩම්බර කොටස්කරුවකු බැව් ඔබ හට ආඩම්බර වීමට සිහිපත් කරන්නෙමි.

ඉංජිනේරු බලකාය ආරම්භ කල දිනයේ පටන් වසර 69 ක් සපිරෙන අද දිනයේදී අප සමරනු ලබන කීර්තිය හා අභිමානය බොහෝ කැපවීම මත හා අභියෝග ජය ගනිමින් ලැබූ ජයග‍්‍රහණයකි. ඒ සදහා ඉංජිනේරු බලකා කර්නල් සේනාධීධායකවරුන්, ප‍්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරුවන්, ඉංජිනේරු බලකා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්, අණදෙන නිලධාරින් ඇතුලු අනෙකුත් සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් මෙන්ම සිවිල් කාර්ය්‍ය මණ්ඩලය ඉතා විශිෂ්ඨ සේවාවක් කර තිබේ. ඔවුන් හට නිදහසේ රාජකාරි කිරීමට අවස්ථාව හා පරිසරය සකසාදුන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ද මෙම සංවත්සරය සමරන දිනයේදී කෘතවේදිව සිහිපත් කරන්නෙමි.

මුදවාගත් ප‍්‍රදේශයන් හි බිම් බෝම්බ ඉවත්කරමින් නැවත පදිංචි කරවීමේ ක්‍රියාදාමයේ පෙර ගමන්කරු ලෙසද, රාජ්‍ය අනුග‍්‍රහය සහ සෘජු මැදහත් වීම මත ජාතිය ගොඩනැගිමේ සංවර්ධන ක්‍රියාවලියන්ටද මැදිහත්ව කටයුතු කරන මේ මොහොතේදී වගකීම් සම්භාරයක් පැවරී ඇති බව සිහිපත් කිරීමට කැමැත්තෙමි. රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලිය වෙත සෘජු දායකත්වය ලබා දෙමින් මහජනතාව සමග ඔවුන්ගේ ජන ජීවිතය උසස් මට්ටමකට ගෙන ඒම සදහා අවශ්‍ය මගපෙන්වීම හා දායකත්වය ලබාදීම පිණිස ඔබ වෙත පැවරී ඇති වගකීම සුළුපටු නොවේ. මෙහිදී ඔබ විසින් දක්වනු ලබන විනය යහපත් හා ධනාත්මක දායකත්වය සියළු පුරවැසියන්ට කිසිදු භේදයකින් තොරව සාමකාමී සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමට සෘජුවම බලපාන බව ඔබ විසින් සිහිතබා ගත යුතුය.

තවද වර්ථමානයේ ශ‍්‍රී ලංකාව තුල සීඝ‍්‍රයෙන් පැතිර යමින් පවතින COVID 19 වෛරසය අප රටෙන් තුරන් කිරීම සදහා ශ‍්‍රී ලංකා ඉංජිනේරු බලකා සාමාජිකයින් විශාල කාර්‍යභාරයක් ඉටුකරමින් පවතින අතර, මේ වන විට රජය මගින් පවත්වාගෙන යන නිරෝධායන කදවුරුවල රාජකාරින් මැනවින් ඉටුකරමින්, වසංගත මර්ධන ක්‍රියාන්වලියේ ප්‍රධාන තැනක් ගෙන අප බලකාය සිදුකරන රාජකාරීන් සමස්ත ශ‍්‍රී ලංකාවම ඉමහත් පැසසුමට ලක්ව ඇත. මෙම වසංගත තත්වය නිසා සංවත්සර උත්සවය හා සමගාමීව සැළසුම් කල වැඩසටහන් අතුරින් සීමිත වැඩසටහන් ප‍්‍රමාණයක් පමණක් සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් පැවැත්වීමට කටයුතු කර ඇත.

තමා වෙත පැවරෙන රාජකාරින් කැපවීමෙන්, හා ස්වයං විනයකින් යුතුව ඉටුකිරීමට කටයුතු කිරීමට ගෞරවනීය හමුදාවක සාමාජිකයින් වශයෙන් අප සියළු දෙනා අදිටන් කරගත යුතුය. එමෙන්ම රටතුල ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ කාර්යයන් වෙනුවෙන් ඉංජිනේරු බලකා සාමාජිකයින් වශයෙන් තවදුරටත් සුවිශේෂී දායකත්වයක් ලබාදීම සදහා මෙම බලකාය තුල නවතමයෙන් ඉංජිනේරු සේනාංකයක් සහ පොදු කාර්ය ඉංජිනේරු බලසේනාවක් ස්ථාපිත කිරීම මගින් ජාතික සංවර්ධන ඉලක්ක හා අභියෝග ජයගැනීමට හැකිවනු ඇත. සිවිල් ප‍්‍රජාව සමග කටයුතු කිරීමේදී මනා සංයමයකින් යුතුව යුද්ධ හමුදාවේ මෙන්ම ඉංජිනේරු බලකායේද ප‍්‍රථිරූපය සුරැකෙන අයුරින් විනයගරුකව කටයුතු කිරීමට අධිෂ්ඨාන කරගත යුතුය.

ඔබ විසින් යුධ බිමේදී විදහා දක්වන ලද රණකාමිත්වය සහ ජාතිමාමකත්වය මෙන්ම සංවර්ධන ක්‍රියාවලියේදී විදහා දක්වනු ලබන වෘත්තීය නිපුණත්වය හා කෞශල්‍යය සමස්ථ ජාතියේම ප‍්‍රසංශාවට හා බහුමානයට පාත‍්‍ර වී ඇති බව ඔබ සැමට සිහිපත් කරනු ලබන අතර, එවන් භඨ පිරිසකට නායකත්වය දීමට ලැබීමද මා ලද භාග්‍යයක් බව සදහන් කිරිමට කැමැත්තෙමි.

ඉංජිනේරු බලකායේ අභිමානය ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා නවීන තාක්‍ෂණය සමග මුසුවුණු නිරන්තර පුහුණුවීම් වෘත්තීමය හැකියාවන් හා දැනුම වර්ධනය කර ගැනීම යුද්ධ හමුදා සාමාජිකයින් වන අප විසින් තව දුරටත් සිදුකල යුතුව ඇත. යම් අරමුණක්, ඉලක්කයක් ඇතිව යුද්ධ හමුදා රාජකාරියෙහි නිරතවීම තුළින් ඔබ විසින් ලබාගන්නා පන්නරය මගින් යුද්ධ හමුදාව තුල ඔබ හට සාර්ථක ලෙස තම වගකීම ඉටු කිරීමට හැකියාව ලැබෙනවා මෙන්ම, ඉන් අනතුරුව විශ‍්‍රාම දිවියට ඇතුලත්ව වගකීම් සහගතව සමාජයට වැඩදායී පුරවැසියකු ලෙස යහපත් සහ සුරක්‍ෂිත අනාගයක් නිර්මාණය කර ගැනීමට හැකි බව සදහන් කරමි. වර්තමානයේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත සිදුකරනු ලබන සංවර්ධන ව්‍යාපෘතීන් සදහා ඉංජිනේරු බලකායේ රාජකාරි කර විශ‍්‍රාම ගිය අයවලුන් නැවත සේවයට බදවාගැනීමට කටයුතු සිදුකරමින් පවතී. එය ඔබ රාජකාරි කිරීමේදී සිදුකරන ලද කැපකිරීම් මත හා පවරන ලද රාජකාරීන් නිවැරදිව නොපිරිහෙලා ඉටු කිරීම මත ලබාගත් අවස්ථාවක් බවද මෙහිදී සිහිපත් කරන්නෙමි.

ඉතා ප්‍රෞඩ ක‍්‍රීඩා ඉතිහාසයක් ඇති අප ඉංජිනේරු බලකාය, ක්‍රිඩාවන් තුලින් වර්ධනය කරගත් එකමුතුකම, එකට නැගී සිටීම, එක අරමුණක් කරා ක්‍රියා කිරීම, සහයෝගය, සුහදතාවය, එකිනෙකාගේ දක්‍ෂතාවයන් හදුනා ගැනීම, නිසි නායකත්වය, ජය පරාජය නිහතමානීව භුක්තිවිදීම, හා ජය මාවත කරා සැළසුම් සහිතව කැපවී ක්‍රියා කිරීම මෙන්ම විශේෂයෙන්ම නීතිරීති හා නිසි විනය මාලාවන් අනුව කටයුතු කිරීමට පුරුදු පුහුණු වීම තුළින් බළකායේ අභිවෘද්ධිය හා කීර්තිනාමය රදාපවත්වා ගැනිමට හැකිවී ඇත. එබැවින් මානසික හා ශාරිරික යෝග්‍යතාවන් පවත්වා ගැනීමට හා කණ්ඩායම් හැගීම්, නායකත්වය හා බලකායේ සියළු අයවලුන් හදුනාගැනීමට විශේෂයෙන්ම විනය, අධිෂ්ඨානය හා කැපවීම පෙන්නුම් කිරිම සදහා සෑම විවේකි අවස්ථාවකදීම කි‍්‍රඩා කටයුතු සදහා යොමුවන ලෙස දන්වා සිටීමට කැමැත්තෙමි.

මාතෘ භූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් තම වටිනා ජීවිතය පූජාකල ඉංජිනේරු බලකායේ වීරෝධාර රණවිරු නිළධාරින් හා සෙසුනිලයින්ටද සිවිල් කාර්යය මණ්ඩල සාමාජිකයින්ටද නිවන් සුව ප‍්‍රාර්ථනා කරන අතර, ඔවුන්ගේ පවුල්වල සියළු සාමාජික සාමාජිකාවන් හට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ඉත සිතින් ප‍්‍රාර්ථනා කරමි. ත‍්‍රස්ථවාදයට එරෙහිව පැවති ක්‍රියාන්විතයන්හිදී රණක්‍ෂිතයට පත්ව මේ දක්වා ප‍්‍රතිකාර ලබන සියළුම රණවිරුවන්ටද ඉතා ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කරන අතර, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටද සතුට හා සෞභාග්‍ය පිරුණු යහපත් අනාගතයක් උදාවේවායි ප‍්‍රාර්ථනා කරමි. එමෙන්ම වර්තමානයේදී යුද්ධ හමුදාව වෙනුවෙන් කැපවිමෙන් විවිධ ක්‍ෂේත‍්‍රයන්හි අභිවෘද්ධිය හා රටේ සංවර්ධන කාර්යයන්හි අනගි සේවයක් ඉටුකරන සේවයේ නියුතු සියළුම නිලධාරින් හා සෙසුනිලයින්ටත් සිවිල් සේවක කාර්යය මණ්ඩල සාමාජිකයන්ටත් ඔවුන්ගේ පවුල්වල ආදරණීය දූ දරුවන් ඇතුළු සියලු සාමාජිකයින්ටත් මාගේ සුභෂිංසන පුදකරන අතර, ඔවුන් හටද පී‍්‍රතිමත් අනාගතයක් උදාවේවායි ප‍්‍රාර්ථනා කරමි. තවද එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරින්හි නියැලෙමින් මව්බිමෙන් පිටතදී මාතෘ භුමිය නියෝජනය කරමින් විශිෂ්ඨ රාජකාරින් ඉටුකරනු ලබන නිලධාරින් හා සෙසුනිලයින් ගෞරවයෙන් සිහිපත් කරන අතර, ඔවුන්ගේ සියලු අපේක්‍ෂාවන් ඒ ආකාරයෙන්ම සඵල වේවායි පතමි.

අවසාන වශයෙන් යුද්ධ හමුදා සෙබලෙකු වශයෙන් පුද්ගලික ගෞරවය හා යුද්ධ හමුදාවේ ප‍්‍රතිරූපය වර්ධනය වන ආකාරයෙන් ඉදිරියටත් පැවරෙන රාජකාරින් වගකිමෙන් හා කැපවිමෙන් යුතුව නොපිරිහෙලා ඉටු කරනු ඇතැයි මම අපේක්‍ෂා කරමි. අභිමානවත් ඉංජිනේරු බලකා සාමාජිකයින් වන ඔබ ජාතියේ සුරක්‍ෂිතතාවය හා යහපත් හෙට දවස වෙනුවෙන් රාජකාරින් ඉටුකිරිම සදහා ශක්තිය හා ධෛර්ය, වාසනාව ඔබ වෙත නිරතුරුවම ලැබේවායි ඉත සිතින් ප‍්‍රාර්ථනා කරමි.

ඔබ සැමට සුභ අනාගතයක්

එච් ජේ එස් ගුණවර්ධන ආර්එස්පී විඑස්වි යුඑස්පී

මේජර් ජෙනරාල්

කර්නල් සේනාධීධායක

දිනය: 2020 නොවැම්බර් මස දින