Header Sinhala

ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය

මව්බිම ගෞරවය සේවය

16th December 2020 19:01:07 Hours

විශ්‍රාම යන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ගෞරවාචාර

35 වසරකට අධික සේවා කාලයක් සපුරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 55 වන මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 17 වන කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන ගේ සේවය ඇගයීම සඳහා ගෞරවාචාර පුදකිරීම වෙනුවෙන් 2020 දෙසැම්බර් මස 14 දින පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත ආරාධනා කරනු ලැබිණි.

සිය යුද්ධ හමුදා දිවියේ අවසන් දිනයේ එම පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් මංගල මායාදුන්න විසින් උණූසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමූහ.

ඉන් අනතුරුව, එතුමන් එම බලකායේ රණවිරු ස්මාරකය අභියසදී මියගිය රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන් වෙත පුෂ්පෝපහාර පුදකළේය. පසුව, එතුමන් වෙත ගෞරවාචාර පුදකිරීම වෙනුවෙන් ආචාර පෙළපාලියක් ද සූදානම් කර තිබිණි. එම බලකායේ බළලත් නිලධාරි හා සැරයන් නිවස්නයේ දී සූදානම් කර තිබූ සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ එතුමන් සහභාගී වූහ. මෙම උත්සවයේ වැඩකටයුතුවල අවසානය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා නිලධාරින්ගේ සහ සෙසුු නිලයින්ගේ සුබපැතුම් මධ්‍යයේ එතුමන් කඳවුරු භූමියෙන් නික්ම ගියේය.

මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන 1985 ජනවාරි මස 18 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණු අතර 1986 මැයි මස 31 දින අධිකාරියට පත්ව ඇත. හෙතෙම යුද්ධ හමුදා දිවිය තුළ අණ, මාණ්ඩලික සහ උපදේශක පත්වීම් රැසක් හොබවා ඇත.