Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

09th April 2026 09:35:49 Hours

නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් කේඒ පුෂ්පකුමාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී

අභිමානවත් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ උන්නතිය උදෙසා මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය උදෙසා පුරා වසර 33 කට අධික කාලයක් තම විශිෂ්ට සේවය ලබාදෙමින් මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා වර්ෂ 2026 ක් වූ අප්‍රේල් මස 08 වන දින තම මව් රෙජිමේන්තුව වෙත සපැමිණි මේජර් ජෙනරාල් කේඒ පුෂ්පකුමාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත රෙජිමේන්තු ගෞරවාචාරය පුදකරනු වස් සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් හා අභිමානවත් සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

ඉන් අනතුරුව මියගිය රණවිරුවන් සිහිකිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීමෙන් පසු පැමිණ සිටි සියලුම නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් භටපිරිස් අමතමින් මෙම උත්සව අවස්ථාව සංවිධානය කිරීම වෙනුවෙන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හා රෙජිමේන්තු අධිපතිතුමන් ඇතුළු රෙජිමේන්තු මහාකාරක සභාවේ සියලුම ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත තම කෘතඥතාවය පිරිනමන ලදී. ඉන් අනතුරුව ඉතාමත් කාලෝචිත දේශනයක් සිදුකිරීමෙන් පසුව කොනොනි සමාජ ශාලාවේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගීවී සියලුම නිලයින් සමඟ සුහද පිළිසඳරක නියැලෙන ලදී.

මේජර් ජෙනරාල් කේඒ පුෂ්පකුමාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යේෂඨ නිලධාරී 1993 වර්ෂයේ මැයි මස 03 වෙනි දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදාව වෙත බැදී තම මුලික යුද පුහුණුව පකිස්ථාන යුද්ධ හමුදා විද්‍යා පිඨය වෙතින් පාඨමාලා අංක 06 යටතේ සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව වර්ෂ 1993 ඔක්තෝබර් මස 17 වෙනි දින දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 6 වන බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස ස්වකීය යුද්ධ හමුදා රාජකාරී දිවිය ආරම්භ කරන ලදී.

ඉන් පසු එම බළඇණියෙහි බුද්ධි නිලධාරී, විධායක අධිකාරි, කණ්ඩායම් භාර නිලධාරී අණදෙන, ක්‍රියාන්විත හා පුහුණු භාර නිලධාරී හා දෙවන අණදෙන නිලධාරී ලෙස රාජකාරි සිදුකළ අතර, පසුව 20 බළඇණියේ දෙවන අණදෙන නිලධාරී තනතුර හොබවා 6 ශ්‍රීලපාහ බළඇණිය මෙහෙයවීමේ නියමුවා වීමේ භාග්‍යයද උදාකරගන්නා ලදී.

අණ, මාණ්ඩලික හා උපදේශක නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදාව තුළ විවිධ තනතුරු හොබවා ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී, මාණ්ඩලික නිලධාරී 111 (පාලන) - රෙම ශ්‍රිලපාහ, විධායක අධිකාරි - රෙම ශ්‍රිලපාහ, මානි 1 යුද්ධ හමුදා උපාය මාර්ගික පුහුණු අණසක - පර්යේශණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක‍්ෂ මණ්ඩලය, අණදෙන නිලධාරී - යුද්ධ හමුදාධිපති ආරක්ෂක ඒකකය, ප්‍රධාන උපදේශක - යුද්ධ හමුදා පහුණු පාසල මාදුරුඔය, කර්නල් (පර්යේෂණ හා සංවර්ධන) - පර්යේෂණ හා සංවර්ධන අංශය යුහමු, කර්නල් (පුහුණු) තාක්ෂණික නොවන නිලධාරි පුහුණු අංශය - පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලය, කර්නල් (ප්‍රමානි) - ආරක‍්ෂක සේනා මුලස්ථානය (යාපනය), බලසේනාධිපති - 232 පාබල බලසේනා මුලස්ථානය, බ්‍රිගේඩියර් (සමිබන්ධීකරණ) - අණ හා මාණ්ඩලික විද්‍යාලය බටලන්ද හා මේ වන විට ජාතික ආරක‍්ෂක විද්‍යායතනයේ ලේකම් ධුරයේ රාජකාරි කරනු ලබයි.

තම වෘත්තීය දැනුම වර්ධනය කරගැනීම වෙනුවෙන් දේශීය හා විදේශීය පාඨමාලාවන් රැසක් හදාරා ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී දේශීය පාඨමාලා වශයෙන් තරුණ නිලධාරී පාඨමාලාව, රෙජිමේන්තු සංඥා නිලධාරී පාඨමාලාව, බළඇණි බුද්ධි නිලධාරි පාඨමාලාව, බළඇණි ආධාරක අවි පාඨමාලාව, සාම සාධක රාජකාරී පුහුණු පාඨමාලාව, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ නිරීක‍්ෂණ හා මාණ්ඩලික නිලධාරී පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ නිරීක‍්ෂණ නිලධාරී යන පාඨමාලා හදාරා ඇත.

තවද මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් හදාරා ඇති විදේශීය පාඨමාලාවන් වශයෙන්, තරුණ නිලධාරී පාඨමාලාව - පාකිස්ථානය, ප්‍රතිත්‍රස්ත හා කැලෑබද සටන් පිළිබද පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යේෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ජාතික ආරක‍ෂාව පිළිබද පාඨමාලාව - ඉන්දියාව ආදී පාඨමාලා සඳහන් කළ හැකිය.

මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී වෘත්තීය දැනුම හා කුසලතාවයන් වර්ධනය කර ගැනීම සදහා හදාරා ඇති අනෙකුත් පාඨමාලා, උපාධි සහ සංචාර වශයෙන්, මානව සම්පත් කළමනකරණ පාඨමාලාව - මානව සම්පත් කළමනාකරණ ආයතනය කොළඔ, මානව සමිපත් කලමනාකරණය පිළිබද උසස් ජාතික ඩිප්ලෝමාව - මානව සම්පත් කළමනාකරණ ආයතනය කොළඔ, ආරක‍්ෂක හා රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබද 4 වන ආරක‍්ෂක දිශානති පාඨමාලාව - ස්විස්ටර්ලන්තය, මානව සම්පත් කළමනාකරනය පිළිබද ශ්‍රාස්ත්‍රපති උපාධිය - Northampton විශ්ව විද්‍යාලය - එක්සත් රාජධානිය, උපාය මාර්ගික නායකත්ව රාජ්‍ය ප්‍රථිපත්ති පිළිබද ශාස්ත්‍රපති උපාධිය - මැඩ්ඩ්‍රාස් විශ්ව විද්‍යාලය - ඉන්දියාව, ජ්‍යේෂ්ඨ ආරක‍ෂක කළමනාකරණය පිළිබද ඩිප්ලෝමාව - දේවි අහීල්යා විශ්ව විද්‍යාලය ඉන්දියාව, ශාන්ති පාත් වැඩමුලුව - ඉන්දියාව ආදිය විශේෂයෙන් සඳහන් කළ හැකිය.

තවද, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් මලයාසියාව, සිංගප්පුරුව, ඉන්දුනීසියාව, ජපානය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය යන රටවල සංචාරය කර ඇති මෙතුමන් හයිටි රාජ්‍යයෙහි සාමාසාධක මෙහෙයුම් සදහා කණ්ඩායම් දෙවන නිලධාරි අණදෙන වශයෙන් සහභාගීවී ඇති අතර, සුඩාන් රාජ්‍යයෙහි එක්සත් ජාතීන්ගේ නිරීක‍්ෂණ නිලධාරී රාජකාරී සදහා වසරක කාලසීමාවක් තම සේවය ලබාදී ඇත.

මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී යුද්ධ හමුදා ක්‍රීඩා කටයුතු සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදී ඇති අතර, පාබල හමුදා ක්‍රීඩා කටයුතු නගාසිටුවීම සඳහාද අනභිභවනීය සේවයක් සිදුකරනු ලබයි.

1993 වර්ෂයේ සිට වන්නි මානුෂීය මෙහෙයුම දක්වා යුද්ධ හමුදාව විසින් දියත් කළ සියලුම ක්‍රියාන්විතයන් සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදී ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී සහභාගී වූ මෙහෙයුම් අතර, ඉදිරිපිම්ම, අකුණු පහර, සත්ජය, රිවිරැස අධියර 1,2,3, ජයසිකුරු අධියර 1,2,3,4, රණගොස, වෝටර් ෂෙඩ්, රිවිකිරණ, කිණිහිර, අග්නිකීල සහ අවසන් වන්නි මානුෂීය මෙහෙයුම විශේෂයෙන් සඳහන් කළ හැක. 1995.11.13 වෙනි දින යාපනය පලෙයි ප්‍රදේශයේදී ත්‍රස්ථවාදීන් විසින් එල්ල කරන ලද මොටාර් ප්‍රහාරයකට ළක්ව තුවාල ලබා දේශය වෙනුවෙන් කාය දානයෙන්ද දායකත්වය ලබාදී ඇති මෙතුමන් දේශපුත්‍ර සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.

ත්‍රස්ථවාදින්ට එරෙහිව දියත් කරන ලද ක්‍රියාන්විතයන්හිදී ප්‍රදර්ශණය කරන ලද වික්‍රමාන්විත රණකාමිත්වය ඇගයීම වස් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරි රණවික්‍රම පදක්කමින් සහ රණශූර පදක්කමින් දෙවරක් පිදුමි ලබා ඇති අතර, මෙතුමන්ගේ දේශීය විදේශීය සේවාවන් ඇගයීම වස් අනෙකුත් පදක්කමි 17 කින් පිදුම් ලබා ඇති පරිනත ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුවට සපැමිණි මේජර් ජෙනරාල් කේඒ පුෂ්පකුමාර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීතුමනි, ඔබගේ ඉදිරි හමුදා දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් සියලුම නිලයින් මෙසේ සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.