09th March 2026 12:40:35 Hours
වසර 33 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් ඒඑච්කේ විජේගුණවර්ධන ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම නිමිත්තෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2026 මාර්තු මස 06 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී තම සේවා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල අණ, මාණ්ඩලික හා උපදේශන තනතුරු රැසක් හොබවමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන්ගේ විශිෂ්ඨ සේවය ලබාදී ඇත. සමුගන්නා දින කඳවුරු මුරයක් පිරිනැමීමෙන් පසු නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක විසින් එතුමන් ආචාර පීඨීකාව වෙත කැඳවාගෙන යෑමෙන් අනතුරුව අභිමානවත් සම්මාන පෙළපාලියක් පුද කරන ලදී. ඉන්පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිත පුදකරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම උත්තමාචාරය පිරිනැමීමෙන් පසුව නිලධාරීන් සමගින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
තම යුද්ධ හමුදා ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් හට හරවත් දේශනයක් සිදුකළ එතුමන් මෙම උත්සවය සංවිධානය කිරීම සබැදිව රෙජිමේන්තු අධිපිතිතුමන් වෙත තම කෘතවේදීත්වය ඵලකළ අතර, කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව තුළ පිළියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගීවී නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරකද නියැලෙන ලදී.
විශ්‍රාම දිවියට පා තැබූ ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවය සඳහා පාබල හමුදා රෙජිමේන්තු මන්ත්‍රණ සභාව නියෝජනය කරන ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු මාණ්ඩලික නිලධාරින්, අනෙකුත් ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් මෙන්ම රෙජිමේන්තු සැරයන් මේජර් ප්‍රමුඛ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.
යුද්ධ හමුදාව වෙනුවෙන් දශක තුනකට අධික කාලයක් සිදුකළ ගෞරවනීය සේවයට කෘතවේදීත්වය පුදකිරීම අරමුණ ඇතිව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත මධ්‍යස්ථාන සේනාවිධායකගේ පූර්ණ අධික්ෂණය යටතේ 2026.03.05 වෙනි දින රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. එහිදී සමරු තිළිණ හා විශේෂ මූල්‍යමය ත්‍යාගයන් ප්‍රදානය කළ අතර, රෙජිමේන්තු අධිපති ඇතුළු පැමිණි සියලූම නිලධාරීන් විසින් විශ්‍රාම යන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ඉදිරි අනාගතයට සුභාශිංසන පුදකරන ලදී.