09th March 2026 12:30:09 Hours
වසර 36 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් කේඑන්ඩී කරුණාපාල ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම නිමිත්තෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2026 මාර්තු මස 05 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී තම සේවා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල අණ, මාණ්ඩලික හා උපදේශන තනතුරු රැසක් හොබවමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන්ගේ විශිෂ්ඨ සේවය ලබාදී ඇත. රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත යුද හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් හා උත්කර්ෂවත් සම්මාන මුරයක් පිරිනමන ලදී. පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පුද කළ අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනැමීමෙන් අනතුරුව රෙජිමේන්තු කාර්යාල සංකීර්ණය අසළදී සියලුම නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. පසුව තම යුද්ධ හමුදා ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් අමතමින් අගනා කාලෝචිත දේශනයක් සිදුකළ මෙතුමන් මෙම උත්සවය සංවිධානය කිරීම සබැදිව රෙජිමේන්තු අධිපිතිතුමන් වෙත තම කෘතවේදීත්වය ඵලකළ අතර, අනතුරුව මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී කොනොනි සමාජශාලාව තුළ පිළියෙල කරන ලද සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වී තම සහෝදර නිලධාරීන් හා සෙසුනිලයන් සමග සුහද පිළිසඳරක නියැලෙන ලදී.
විශ්‍රාම දිවියට පා තැබූ ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවය සඳහා පාබල හමුදා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු මාණ්ඩලික නිලධාරින්, අනෙකුත් ජ්‍යේෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් මෙන්ම රෙජිමේන්තු සැරයන් මේජර් ප්‍රමුඛ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.
යුද්ධ හමුදාව වෙනුවෙන් දශක තුනකට අධික කාලයක් සිදුකළ ගෞරවනීය සේවයට කෘතවේදීත්වය පුදකිරීම අරමුණ ඇතිව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත මධ්‍යස්ථාන සේනාවිධායකගේ පූර්ණ අධික්ෂණය යටතේ 2026.03.05 වෙනි දින රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. එහිදී සමරු තිළිණ හා විශේෂ මූල්‍යමය ත්‍යාගයන් ප්‍රදානය කළ අතර, රෙජිමේන්තු අධිපති ඇතුළු පැමිණි සියලූම නිලධාරීන් විසින් විශ්‍රාම යන ජ්‍යේෂ්ඨ නිලධාරීගේ ඉදිරි අනාගතයට සුභාශිංසන පුදකරන ලදී.