Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

03rd September 2025 18:27:32 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ ගෞරවනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන බ්‍රිගේඩියර් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී

වසර 32 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් බ්‍රිගේඩියර් එම්පීඑස්පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම නිමිත්තෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2025 අගෝස්තු මස 29 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී තම සේවා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල අණ, මාණ්ඩලික හා උපදේශක තනතුරු රැසක් හොබවමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන්ගේ විශිෂ්ට සේවය ලබාදී ඇත. සමුගන්නා දින කඳවුරු මුරයක් පිරිනැමීමෙන් පසු මධ්‍යස්ථාන සේනාවිධායක විසින් එතුමන් ආචාර පීඨීකාව වෙත කැඳවාගෙන යෑමෙන් අනතුරුව අභිමානවත් සම්මාන පෙළපාලියක් පුද කරන ලදී. සම්මාන පෙළපාලියට සහභාගී වූ සියලුම භටපිරිස් අමතා වර්ණවත් සම්මාන පෙළපාලියක් පිරිනැමීම වෙනුවෙන් තම ස්තූතිය පුදකළ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී, පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිත පුදකරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම උත්තමාචාරය පිරිනැමීමෙන් පසුව නිලධාරීන් සමගින් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. තම යුද්ධ හමුදා ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් හට හරවත් දේශනයක් සිදුකළ එතුමන් කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව තුළ පිළියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගීවී නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරකද නියැලෙන ලදී.

විශ්‍රාම දිවියට පා තැබූ ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවය සඳහා පාබල හමුදාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ප්‍රමුඛ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.

නික්ම යන ජ්‍යේෂ්ඨ නිලධාරීතුමණි, ඔබගේ ඉදිරි විශ්‍රාම දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති ඇතුළු සියලුම නිලයින්ගේ සුබාශිංසන මෙසේ එක්කරන්නෙමු.