Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th August 2025 14:52:12 Hours

මියගිය වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් අනුරාධපුර අටමස්ථානයේ දී පිංකම් මාලාවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී හා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිනී දර්ශනී යහම්පත් මැතිණියගේ උදාරතර සංකල්පයකට අනුව 30 වසරක ශාපලත් යුද්ධය ශ්‍රි ලංකාද්වීපයෙන් මුලිනුපුටා දමා ත්‍රස්තවාදය තුරන් කර රටට තිරසාර සාමය උදාකරලීමේ ක්‍රියාන්විතයන්හිදී රටදැය වෙනුවෙන් තම ජීවිතදානය පුදකළ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් අවිවාහක වීරෝදාර රණවිරුවන්ගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයින් සමඟ එක්ව මියගිය රණවිරුවන් සිහිපත් කර පිංපැමිණවීමේ පිංකමක් 2025 ක් වූ අගෝස්තු මස 01 වන දින අනුරාධපුර අටමස්ථානය කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන ලදී.

මෙම ආගමික වැඩසටහන සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති තුමන්, සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් හා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු මාණ්ඩලික නිලධාරීන් හා යුද්ධයේ දී මියගිය වීරෝදාර රණවිරුවන්ගේ දෙමාපියන් විශාල පිරිසක් මේ සඳහා සහභාගී වු අතර, පිංකම් මාලාවේ දෙවන දිනය වන 2025.08.02 වන දින අභයගිරි විහාරස්ථානයට හීල් දානය ජූජාකර මෙම ආගමික වැඩසටහන සඳහා සහභාගී වූ සියලුම රණවිරු දෙමාපියන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අටමස්ථාන වන්දනා චාරිකාවකට ද සහභාගී විය.

තවද මෙම පිංකම් මාලාව අතරතුරදී ලැබුණු විවේකයන්හිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිතුමා සහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිතුමිය විසින් පැමිණි වීරෝදාර රණවිරුවන්ගේ දෙමව්පියන් සමඟ ඔවුන් හට පැනනැගී ඇති ගැටළු, සහ ඔවුන් වෙනුවෙන් සිදු කරනු ලබන සුභ සාධන කටයුතු පිළිබඳ සුහද කතාබහකද නිරත විය.