Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th July 2025 22:13:16 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 47 වෙනි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන ලෙස අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරාල් මානද යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ ගෞරවණීය උත්තමාචාරය...

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 47 වෙනි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී (DCOS) ලෙස ශ්‍රී ලංකා පාබළ හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී 2025 ක් වූ ජුනි මස 26 වෙනි දින පත්විම නිමිත්තෙන් 2025 ජුලි මස 04 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි උපහාර උළෙලක් පවත්වන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි නව නියෝජය මාණ්ඩලික ප්‍රධානතුමන් ප්‍රධාන දොරටුව අභියස දී රෙජිමේන්තු නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ගෞරවපූර්වකව පිළිගන්නා ලදී. අනතුරුව කඳවුරු මුරයක් පිරිනැමීමෙන් පසු සරඹභූමිය වෙත සපැමිණි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානතුමන්, මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ආචාර පීඨිකාව අසල දී පිළිගෙන සරඹභූමිය වෙත කැඳවාගෙන යන ලදී. එහිදී අභිනවයෙන් පත් වූ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානතුමන් වෙත යුද හමුදා සම්ප්‍රදායානුකූලව අභිමානවත් සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන් පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජිවිත පුද කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනැමීමෙන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථානය ඉදිරිපිටදී පැමිණ සිටි සියලුම නිලධාරීන් සමඟ සමූහ ඡයාරූපයකට පෙනීසිටි අතර, ඉන්පසු භටපිරිස් අමතා එතුමන්ගේ දැක්ම හා පරමාර්ථයන් පැහැදිලි කර රටට ස්ථීර සාමය උදාකිරීම උදෙසා දායකත්වය ලබාදුන් මියගිය, ආබාධිත හා සේවයේ යෙදී සිටින සියලුම නිලධාරීන් හා සෙසුනිලයින් හට තම ප්‍රණාමය පුද කරන ලදී. අවසන් වශයෙන් කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව තුළ පිලියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වූ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන තුමන්, නිලධාරීන් හා සෙසුනිලයින් සමඟ සුහඳ පිළිසදරක යෙදීමෙන් පසු රෙජිමේන්තු පරිශ්‍රයෙන් නික්ම යන ලදී. මෙම අවස්ථාව සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, අණදෙන නිලධාරින් සහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු රෙජිමේතු මධ්‍යස්ථානයේ සියලුම නිලධාරින් සමගින් විශාල නිලධාරි හා සෙසුනිල ප්‍රමාණයක් සහභාගි වන ලදී.