Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

27th June 2025 16:29:42 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 47 වැනි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 47 වෙනි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී (DCOS) ලෙස ශ්‍රී ලංකා පාබළ හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී 2025 ක් වූ ජුනි මස 26 වෙනි දින සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.

මේජර් ජෙනරාල් මානද යහම්පත් ජ්‍යේෂ්ඨ නිලධාරී 1990.01.17 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුළත්ව දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙහි පාඨමාලා අංක 33 වෙතින් කෙඩෙට් නිලධාරි පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසු 1991.06.15 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව 4 ශ්‍රීලපාහ බළ ඇණියට අනුයුක්තව විශේෂ බළකාය වෙත ඇතුළත් වන ලදී. මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී යුද්ධ හමුදා විශේෂ බලකායෙහි විවිධ තනතුරු හොබවා අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 6 වන බළඇණිය වෙත ක්‍රියාන්විත හා පුහුණු භාර නිලධාරි ලෙස පත්වන ලදී. පසුව අණදෙන නිලධාරියෙකු ලෙස 6 ශ්‍රීලපාහ බළ ඇණිය මෙහෙය වීමේ නියමුවා වීමේ මහඟු භාග්‍ය ද උදාකරගන්නා ලදී.

මේජර් ජෙනරාල් මානද යහම්පත් ජ්‍යේෂ්ඨ නිලධාරි අණ, මාණ්ඩලික හා උපදේශක නිලධාරියෙකු ලෙස තම වෘත්තීයමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති දැනුමින් පිරිපුන් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි. මෙතුමන් දැරූ සුවිශේෂී තනතුරු අතර, උපදේශක - විශේෂ බළකා පුහුණු පාසල, විධායක අධිකාරි - රෙජිමේන්තු මධ්‍යස්ථානය විශේෂ බළකාය, මානි 2 (ක්‍රියා) - මාණ්ඩලික රාජකාරි අධ්‍යක්ෂ මණ්ඩලය හා 56 පාබල සේනාංකය, බලසේනා මේජර් 574 පාබල බලසේනාව, විධායක අධිකාරී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, මානි 1 - ස්වේච්ඡා බලසේනාව, කර්නල් ප්‍රමානි - ආසේමු (බටහිර) හා 51 පාබල සේනාංකය, බලසේනාධිපති - 515, 582 පාබල බළසේනාවන්, අධ්‍යක්ෂ - මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂක මණ්ඩලය, සේනාවිධායක - යුද්ධ හමුදා යුද විද්‍යාලය, සේනාංකාධිපති - 52 පාබල සේනාංකය, නියෝජ්‍ය ආඥාපති - ආසේමු (බටහිර), ආඥාපති ආසේමු - (මධ්‍යම) හා ආඥාපති - (යාපනය) යන තනතුරු සඳහන් කළ හැකිය.

තම සේවා කාලය අතරතුර දේශීය මෙන්ම විදේශීය පාඨමාලා රැසක් හදාරා ඇති මෙතුමන් දේශීය පාඨමාලා වශයෙන් බුද්ධි පාඨමාලාව, සංග්‍රාමික කිමිදුම් පාඨමාලාව, කාතු නිරීක්‍ෂණ නිලධාරී පාඨමාලාව, ඉදිරි නිරීක්‍ෂණ නිලධාරි පාඨමාලාව, ඒකක ගිණුම්කරණ හා පරිපාලන පාඨමාලාව. මුලික පැරෂුට් පාඨමාලාව, අණ හා මාණ්ඩලික පාඨමාලාව හා ව්‍යාපෘති කළමනාකරණ සහතිකපත්‍ර පාඨමාලාව යන පාඨමාලාවන් හදාරා ඇත. විදේශීය වශයෙන් ඉන්දියාවේදී මෝටාර් අවි පාඨමාලාව, කනිෂ්ඨ අණ දෙන්නන්ගේ පාඨමාලාව, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව හා ජ්‍යේෂ්ඨ ආරක්ෂක කළමනාකරණය පිළිබද ඩිප්ලෝමාව, පාකිස්ථානයේදී තරුණ නිලධාරී පාඨමාලාව හා ජාතික ආරක්ෂාව හා යුධ මෙහෙයුම් පාඨමාලාව, නේපාලයේදී බහු ඛණ්ඩ පුහුණු පාඨමාලාව හා චීනයේදී ඒකාබද්ධ මෙහෙයුම් මාණ්ඩලික පාඨමාලාව හදාරා ඇත.

තවද, මෙතුමන් කළමනාකරණ හා නායකත්ව සංවර්ධනය පිළිබද සහතිකපත්‍ර පාඨමාලාව, මනෝවිද්‍යා උපදේශනය පිළිබද උසස් ඩිප්ලෝමා පාඨමාලාව, රාජ්‍ය කළමනාකරණ උපාධිය, ආරක්ෂක කළමනාකරණ විද්‍යාවේදී උපාධිය, ආරක්ෂාව සහ උපාය මාර්ගික අධ්‍යයනය පිළිබද විද්‍යාවේදී උපාධිය ද හදාරා ඇති ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු බැව් විශේෂයෙන් සඳහන් කළ යුතුය. මෙම ජ්‍යේෂ්ඨ නිලධාරි 1991 වර්ෂයේ සිට වන්නි මානුෂීය මෙහෙයුම දක්වා යුද්ධ හමුදාව විසින් දියත් කරන ලද සියලුම ක්‍රියාන්විත සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදී ඇති අතර, වසර 35 ක් වූ තම යුද්ධ හමුදා දිවියේ ක්‍රියාන්විතයන්හිදී දක්වන ලද නිර්භීත භාවය හා රණකාමීත්වය වෙනුවෙන් ප්‍රදානය කරනු ලබන රණ වික්‍රම පදක්කමෙන් තෙවරක් හා රණශූර පදක්කමෙන් දෙවරක් පිදුම් ලබා ඇත.

යුද්ධ හමුදා නියොජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙසින් අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරාල් මානද යහම්පත් ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ සියලුම නිලයින්ගේ සුභාශිංසන මෙසේ පිළිගන්වනු ලැබේ.