10th January 2025 12:34:15 Hours
ශ්‍රී ලංකා පාබල හමුදාවේ 18 වන රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරී භාර ගැනීමෙන් පසු සාම්ප්‍රදායානුකූලව සිදුකරනු ලබන බළඇණි සංචාරය සනිටුහන් කරමින් 2025 ජනවාරි මස 08 වන දින 8 ශ්‍රීලපාහ සහ 2 (සෙව්) ශ්‍රීලපාහ බළඇණිවල නිරීක්ෂණ සංචාරයක් සිදුකරන ලදී.
මෙම සංචාරයේදී එම බලඇණිවල අණදෙන නිලධාරීවරුන් විසින් තම බළඇණිය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපති ඉතා ගෞරවයෙන් යුතුව පිළිගන්නා ලද අතර, රෙජිමේන්තු අධිපති විසින් භටපිරිස් අමතමින්, රාජකාරී කිරීමේදී සුරක්ෂිතභාවය ආරක්ෂා කරගැනීම හා එහි වැදගත්කම මනාව අවබෝධ කරදෙන ලදී. තවද සෙබළෙකුගේ රාජකාරිය විහිදී ඇති වපසරිය සහ ඔවුන් ක්‍රියා කලයුතු ආකාරය, පුද්ගල ආරක්ෂාවේ නීතීය නිවැරදිව භාවිතා කළයුතු ආකාරය, මත්ද්‍රව්‍ය භාවිතයේ අනිසි විපාක තුළින් තම පවුලට සහ රැකියාවට එල්ලවන තර්ජන බලපෑම් පිළිබඳවද, විනයගරුක සෙබළෙකු වශයෙන් තමන්ගේ මාසික වේතනය නිවැරදිව කළමණාකරණය කර ගන්නා ආකාරය, තම දෙමාපියන්ට සැලකීමේ ඇති වැඳගත්කම හා එහි ආදීනව ද ඉතා මැනැවින් මෙම දේශනයේදී පහදා දෙන ලදී. තවද, යුද හමුදාවේ ගෞරවයට හා කිර්තිනාමයට හානිවන කිසිදු ක්‍රියාවක් කුමන අයුරකින්වත් සිදුනොකිරීම මෙන්ම යුද්ධ හමුදාවේ වෘත්තීය නිපුණත්වයෙන් හෙබි සෙබළෙකුවීමේ වටිනාකම අවබෝධ කරදී, බළඇණියේ සියලු නිලධාරීන්ට හා සෙසු නිලයින් හට ඔවුන්ගේ ඉදිරි අනාගතයට සුබ පැතුම් එක් කරන ලදී.
අණදෙන නිලධාරීන් හට සෙබළුන්ගේ සුබසාධනය තවදුරටත් පුළුල් කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම් ලබාදීමෙන් පසුව බළඇණි සමරු සටහන් පොත්හි තම සංචාරය පිළිබඳව සටහනක් තැබූ රෙජිමේන්තු අධිපති සිය බළඇණි සංචාරය නිමාකළ අතර, මෙම සංචාරය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ද සහභාගී විය.