21st December 2024 12:38:22 Hours
මේජර් ජෙනරාල් කේඑන්ඩී කරුණාපාල ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී 1989.07.14 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් පාඨමාලා අංක 32 ට ඇතුළත්ව දියතලාව යුද හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු 1991.06.15 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 8 ශ්‍රීලපාහ බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස ඇතුළත් වන ලදී. අනතුරුව 6 ශ්‍රීලපාහ නිලධාරී අණදෙන, තනතුර හොබවා 2007 වර්ෂයේ 6 වන හයිටි සාමසාධක බළඇණියේ නිලධාරී අණදෙන ලෙස ලෝක සාමය උදාකරලීමේ මහඟු කාර්යට ද දායක විය. 12 ශ්‍රීලපාහ බළඇණියේ දෙවන අණදෙන නිලධාරී තනතුර හොබවීමෙන් පසුව 1 වන ආධාරක බළඇණිය සහ 25 ශ්‍රීලපාහ බලඇණිය මෙහෙයවීමේ නියමුවා ලෙස තනතුර දැරීමේ භාග්‍ය ද උදාකරගන්නා ලදී.
තම වෘත්තීයමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති දැනුමින් පිරිපුන් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී මාණ්ඩලික නිලධාරී 2 - රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බළමුළුව, ප්‍රමානි 1 - 6 වන කාර්ය සාධක බළකාය, ප්‍රමානි 1 - මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය, ප්‍රමානි 1- ආරක්ෂක සේනා මුලස්ථානය (කිළිනොච්චිය), ප්‍රමානි 1 - සමුහ මෙහෙයුම් ආඥාපති කාර්යාලය (කොළඹ), කර්නල් (ප්‍රමානි) - 56 පාබල සේනාංකය, බ්‍රිගේඩියර්(ප්‍රමානි) - ආරක්ෂක සේනා මුලස්ථානය (යාපනය), අධ්‍යක්ෂක - කළමනාකරණ හා නඩත්තු අධ්යක්ෂ මණ්ඩලය, 56 පාබළ සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකරණු ලබයි.
තම වෘත්තීය දැනුම වර්ධනය කරගැනීම වෙනුවෙන් දේශීය හා විදේශීය පාඨමාලාවන් රැසක් හදාරා ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී දේශීය වශයෙන් බළඇණි ආධාරක අවි හා කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරී පාඨමාලාව - පාකිස්ථානය, මෝටාර් අවි පාඨමාලාව - පාකිස්ථානය, බළඇණි අණදෙන්නන්ගේ පාඨමාලාව - බංගලාදේශය, ජාතික අරක්ෂාව හා යුද කළමණාකරණ උපාධිය - පකිස්තානය ආදිය හදාරා ඇති පරිනත නිලධාරියෙකු වේ.
හදාරා ඇති යුද හමුදා නොවන දේශීය ශ්‍රාස්ත්‍රීය අධ්‍යන පාඨමාලා වශයෙන් උපදේශණය පිළිබද ඩිප්ලෝමාව, මානව හිමිකමි පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව, තොරතුරු තාක්ෂණ කුසලතා පාඨමාලාව හා කළමනාකරණ හා නායකත්ව සංවර්ධන පාඨමාලාව - කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, මානව සම්පත් කළමනාකරණය පිළිබද ඩිප්ලෝමාව - යුරෝපීය වෘත්තීය අධ්‍යාපන ආයතනය, මානව සම්පත් කළමනාකරණය පිළිබද උසස් ඩිප්ලෝමාව - යුරෝපීය වෘත්තීය අධ්‍යාපන ආයතනය ආදිය සඳහන් කළ හැකිය.
වෘත්තීය දැනුමෙන් හා පලපුරුද්දෙන් පිරිපුන් මෙතුමන් 1991 වර්ෂයේ සිට වන්නි මානුෂීය මෙහෙයුම දක්වා යුද්ධ හමුදාව විසින් දියත්කරන ලද සියලුම ක්‍රියාන්විතයන් සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදී ඇති මෙතුමන් "ජයමග” "ජයහඩ", ඉදිරිපිම්ම", "බලවේගය”, "අකුණුසැරය”, "රිවිරැස" 1, 2 සහ 3, "සත්ජය”, "ජයසිකුරු”, "වොටර් ෂෙඩ්", "කිනිහිර”, "අග්නිකීල” නැගෙනහිර සහ වන්නි යන මානුෂීය මෙහෙයුම් සඳහන් කළහැකිය. එමෙන්ම සතුරු කඳවුරු හා ත්රස්තවාදීන්ගේ ප්‍රධාන පෙලේ මරමස්ථාන අත්පත් කරගැනීමේදී තම නිර්භීත නායකත්වය දෙමින් තිස් වසරක සාපලත් රුදුරු ත්‍රස්ථවාදය දිවයිනෙන් තුරන් කර විජයග්‍රහණය දක්වා තම බළඇණිය මෙහෙයවිය. ක්‍රියාන්විතයන්හිදී දක්වන ලද නිර්භීතභාවය, හා රණකාමිත්වය වෙනුවෙන් මෙතුමන් රණශූර පදක්කමින් තෙවරක් පිදුම්ලබා ඇත.
මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2024 ක්වූ දෙසැම්බර් මස 20 වන දින සපැමිණි මේජර් ජෙනරාල් කේඑන්ඩී කරුණාපාල ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සම්ප්‍රදානුකූලව පිරිනමනු ලැබූ අභිමානවත් කඳවුරු මුරය හා සම්මාන මුරයෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත ගොස් තම පුෂ්පෝපහාර දැක්වීම සිදුකරන ලදී. අනතුරුව මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් භට පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත හා ආදර්ශමත් පණිවුඩයක් සියලුම නිලයින්හට ලබාදී. කොනොනි සමාජ ශාලාවේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගීවී පැමිණ සිටි සියලුම නිලයින් සමඟ සුහද පිළිසඳරක නියලීමෙන් අනතුරුව පැමිණ සිටි සියලුම නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී.
මෙම අභිමානවත් උත්සවය ආඥාපති ආසේමූ (යාපනය) හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මඟපෙන්වීම මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වූ අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලුම සෙසු නිලයින් සහභාගී විය.