Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

21st December 2024 12:33:15 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ ගෞරවනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් එස්ඒඑන්ඩී එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ එච්ඩීඑම්සී ජ්‍යේෂ්ඨ නිලධාරී

වසර 35 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ යුද හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මහාකාරක සභාවේ ජ්‍යේෂ්ඨ සාමාජික මේජර් ජෙනරාල් එස්ඒඑන්ඩී එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ එච්ඩීඑම්සී ජ්‍යේෂ්ඨ නිලධාරී යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යෑම නිමිතිකොටගෙන රෙජිමේන්තු ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 දෙසැම්බර් මස 18 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි යුද හමුදා අධ්‍යක්ෂ ප්‍රදාන මාණ්ඩලික වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව පුදකරන ලද කඳවුරු මුරයෙන් පසුව ගෞරවාන්විත සම්මාන පෙළපාලියක් පිරිනමන ලදී. ඉන් අනතුරුව "අභිමන් මුදුනත" රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා සමූහ ඡායාරූපයකට පෙනීසිටී මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී රෙජිමේන්තු දේශන ශාලාවේදී තම යුද්ධ හමුදා ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් හට ඔවුන්ගේ අනාගත අභීවෘද්ධීන් සාර්ථකව ඉටුකරගන්නා ආකාරය පිළිබඳව උපදෙස් ලබාදුන් අතර, කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සමාජ ශාලාව තුළ පිළියෙල කරන ලද සියලු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වී නිලධාරීන් හා සෙසුනිලයින් සමග සුහද පිළිසඳරකට එක්විය.

ජ්‍යේෂ්ඨ අණදෙන්නෙකු, උපදේශක නිලධාරියෙකු හා මාණ්ඩලික නිලධාරියෙකු ලෙස තම වෘත්තීයමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති දැනුමින් පිරිපුන් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී, යුද්ධ හමුදාව තුළ විවිධ නිලතල හොබවා ඇති අතර, උපදේශක - සටන් පුහුණු පාසල අම්පාර, ප්‍රමානි 2 ක්‍රියාන්විත - ආසේමුූ නැගෙනහිර, උපදේශක - ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල, මානි 1 - යුද හමුදා මාණ්ඩලික නිලධාරී කාර්යාලය යුහමු, යුද සේවා සහයක - යුද හමුදාධිපති කාර්යාලය, ආපදා සම්බන්ධීකරණ නිලධාරී - ගාල්ල, කර්නල් ප්‍රමානි - 62 පාබල සේනාංකය, බලසේනාධිපති - 571 පාබල බලසේනාව, අධ්‍යක්ෂ - රණසේවා හා පුනරුත්ථාපන, සේනාවිධායක - යුහපූපා මාදුරුඔය මෙන්ම 2007 වසරේ හයිටි රාජ්‍යයේ සාමසාධක බළඇණියේ නිලධාරී අණදෙනවරයෙකු හා 2017 වසරේ මාලි රාජ්‍යයේ සාමසාධක බළඇණියේ මාණ්ඩලික නිලධාරියෙකු වශයෙන් රාජකාරි සිදුකර ඇති අතර, නව පත්වීම ලැබීමට පෙර අධ්‍යක්ෂ ජෙනරාල් ක්‍රියාන්විත වශයෙන් රාජකාරි කරන ලදී. මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී මේ වන විට අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ධූරයට අමතරව පාබල හමුදා ඉතිහාසයේ සුවිශේෂි අවස්ථාවක් සනිටුහන් කරමින් පාබල හමුදා රෙජිමේන්තුවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ප්‍රථමවරට යුද හමුදා පොලිස් හේවා බළකායේ කර්නල් සේනාවිධායකවරයා ලෙස කටයුතු කිරීමේ භාග්‍යයද උදාකරගත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරාල් එස්ඒඑන්ඩී එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ එච්ඩීඑම්සී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සේවය ඇගයීමට ළක්කරමින් පාබල හමුදා රෙජිමේනුතු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් පිරිනමන ලදී. විශ්‍රාම ජ්‍යේෂ්ඨ නිලධාරීතුමණි, ඔබගේ විශ්‍රාම දිවිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් සියලුම නිලයින්ගේ ශුභාශිංසන මෙලෙස එක්කරන්නෙමු.