Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

27th October 2024 11:54:44 Hours

143 වසරක අභිමානය සැමරීම හා "අභිමන් මුදුනත" රණවිරු සැමරුම - 2024

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව සිය අභිමානවත් 143 වැනි සංවත්සරය 2024 ක්වූ ඔක්තෝබර් මස 23 වන දින ඉතා උත්සවශ්‍රීයෙන් අභිමානවත්ව සැමරූ අතර, එයට සමගාමීව 2024.10.24 වන දින ''අභිමන් මුදුනත" රණවිරු ස්මාරකය අභියස දී රණවිරු සැමරුම් උළෙලක් ද පවත්වන ලදී.

1881 අප්‍රේල් මස 01 වන දින අංක 4396 දරන රජයේ ගැසට් පත්‍රයේ 528 වන පිටුවෙන් ශ්‍රී ලංකාව තුළ ස්වේච්ඡා පාබල හමුදාවක් නගාසිටුවීම සඳහා අනුමැතිය හිමිවීමෙන් පසු 1881 අප්‍රේල් මස 01 වන දින සිලෝන් වොලන්ටියර්ස් නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම පාබල හමුදාව ආරම්භ විය. 1989 ජුනි මස 30 වන දින යුද්ධ හමුදා විශේෂ නියෝගයට අනුව පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ, 1 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව ස්ථාපිතව තිබූ භූමියේ දී වර්ෂ 1989 ක්වූ ඔක්තෝබර් මස 23 වන දින රෙජිමේන්තු ධජය ඔසවා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය ආරම්භ කරන ලද අතර, සෑම රෙජිමේන්තු දින සංවත්සරයකදීම පාබල හමුදාව නගාසිටවූ වර්ෂය සංකේතවත් කරමින් සිය සංවත්සර දිනය සමරනු ලබයි. ශ්‍රී ලංකා පාබල හමුදාව ආරම්භ කර මේ වන විට වසර 143 ක් සපුරා ඇති අතර, එදා මෙදා තුර ''සේවය කරමි" යන ආදර්ශ පාඨය පෙරදැරිව මාතෘභූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරනු ලබයි.

143 වන රෙජිමේන්තු දින සැමරුම් උළෙලෙහි සමාරම්භය සනිටුහන් කරමින් ආඥාපති ආරක්ෂක සේනා (මධ්‍යම) හා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත රෙජිමේන්තු මධ්‍යස්ථාන ප්‍රධාන පිවිසුම් දොරටුව අභියසදී කඳවුරු මුරයක් පිරිනමා ඉන් අනතුරුව රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී අභිමානවත් සම්මාන පෙළපාලියක උත්තමාචාරය පුදකරනු ලැබීය. එහිදී 2024 වසරේ පැවති පාලන පරීක්ෂාවෙන් ප්‍රථම සහ දෙවන ස්ථාන ලබාගත් නිත්‍ය, ස්වේච්ජා බළඇණි හා අන්තර් බළඇණි සරඹ තරඟාවලියේදී දක්ෂතා දැක්වූ සරඹ කණ්ඩායම් වෙත කුසලාන හා සහතිකපත් ප්‍රදානය කිරීම සිදුවිය. ඉන් අනතුරුව රෙජිමේන්තු අධිපති පැමිණ සිටි සියලූම නිලධාරීන් හා ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සමඟ සමුහ ඡායාරූපයකට පෙනී සිටින ලද අතර, උත්සවය සඳහා පැමිණි සියලු නිලයින් අමතමින් කාලෝචිත හා හරවත් දේශණයක් සිදුකරන ලදී.

143 වැනි සංවත්සර දිනට සමගාමීව සෙසුනිල භෝජනාගාරයේ පිළියෙල කරන ලද සියලු නිල දිවාභෝජන සංග්‍රහයට සහභාගී වූ රෙජිමේන්තු අධිපති පැමිණ සිටි සියලු නිලයන් සමග සුහද පිළිසඳරක නියැලෙන ලදී. සංවත්සර දින සැමරුම් උත්සවය සඳහා රෙජිමේන්තු මහාකාරක සභාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් හා අනෙකුත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයන් විශාල පිරිසක් සහභාගී වූ අතර, සංවත්සර සැමරුම් මාලාව රෙජිමේන්තු අධිපතිගේ මඟපෙන්වීම මත, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජේකේආර්පි ජයසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරිණි.

2024 ක්වු ඔක්තෝබර් මස 24 වන දින ''අභිමන් මුදුනත'' රණවිරු සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් බිහිවූ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු හා යුද්ධ හමුදාධිපතිවරයෙකු මෙන්ම වර්තමානයේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය හොබවනු ලබන ජෙනරාල් එච්එස්එච් කෝට්ටේගොඩ (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී පැමිණෙන ලදී. තවද විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස හිටපු යුද්ධ හමුදාධිපතිවරයෙකු වන ජෙනරාල් ආර්එම්ඩී රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂඨ නිලධාරී මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ආඥාපති ආරක්ෂක සේනා (මධ්‍යම) හා වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් වයිඒබීඑම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ජ්‍යේෂ්ඨ හා කණිෂ්ට නිලධාරී මෙන්ම හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්, පාබල හමුදා සංගමයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සේවයේ යෙදී සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා මියගිය රණවිරුවන්ගේ ළඟම ඥාතීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම් උළෙල පවත්වන ලදී.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ගෞරවාභිමානය රකිමින් 1881 වර්ෂයේ පාබල හමුදාව ස්ථාපනය කළ දින සිට අවසන් මානුෂීය මෙහෙයුම දක්වා රට දැය වෙනුවෙන් ප්‍රාණදානය ලබාදෙමින් මිහිතලය සිපගත් රණවිරුවන් 3744 ක් වෙත රෙජිමේන්තුවේ ගෞරවනීය උත්තමාචාරය පුදකිරීම වෙනුවෙන් මෙම සැමරුම සංවිධානය කර තිබුණි. යුද්ධ හමුදාවේ අභිමානය හා ජීවගුණය ආරක්ෂා කරමින් විචිත්‍රවත් ලෙස සිදුකෙරුනු මෙම රණවිරු සැමරුම් උළලේදී රෙජිමේන්තු අධිපති ප්‍රමුඛ අනෙකුත් ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු මියගිය රණවිරුවන්ගේ ඥාතීන් විසින් මාතෘභූමිය හා වෘත්තිය අභිමානය පෙරටු කරගනිමින් අද්විතීය ජාතික මෙහෙවරක් ඉටුකර ශ්‍රේෂ්ඨත්වයට පත් එම වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාරය පුදකරන ලදී.

එදින සන්ධ්‍යාවේදී මියගිය රණවිරුවන් වෙත පුණ්‍යානුමෝදනා සිදුකිරීම වෙනුවෙන් විචිත්‍රවත් ආලෝකධාරා මධ්‍යයේ සංස්කෘතික අංග ඇතුළත් අලංකාරවත් පෙරහැරක් මගින් සධාතුක කරඩුව වැඩම කරවා සර්වරාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැත්වූ අතර, එහිදී රෙජිමේන්තු හා බළඇණි වර්ණ ධජ වෙත ආශිර්වාදය පුදකර පසුදින සංඝයා වහන්සේලා වෙත සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමෙන් අනතුරුව 2024 රණවිරු සැමරුම් උත්සව මාලාවේ සියලු වැඩකටයුතු සමාප්තියට පත්කෙරිණි.

මෙම උත්සවමාලාවේ සියලු වැඩකටයුතු රෙජිමේන්තු අධිපතිගේ උපදෙස් මත මධ්‍යස්ථාන සේනාවිධායකගේ මෙහෙයවීමෙන් සිදු වූ අතර, රෙජිමේන්තුවේ සියලුම මාණ්ඩලික නිලධාරීන්, රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සෙසුනිලයන් විශාල පිරිසකගේ දායකත්වය හා බළඇණි වෙතින් ලද සුවිශේෂී ශ්‍රම දායකත්වය මත එය සාර්ථකව සිදුකර ගැනීමට හැකි විය.