Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

30th September 2024 21:34:50 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ "BUGLERS' DEN" බහුවිධ පහසුකම් සංකීර්ණය විවෘත කළ වගයි...

ආරක්ෂක සේනා ආඥාපති (මධ්‍යම) සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මිහිදු පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ උදාරතර සංකල්පයක් මත පාබල හමුදා රෙජිමේන්තුවේ නවතමයෙන් ඉදිකරන ලද "BUGLERS' DEN" බහුවිධ පහසුකම් සංකීර්ණය රෙජිමේන්තු අධිපතිගේ ගෞරවනීය ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරිතුමන් විසින් 2024 සැප්තැම්බර් මස 29 දින සුබ මොහොතින් විවෘත කරන ලදී.‍

සුපිරි වෙළඳසැලැක්, මුද්‍රණ පහසුකම් සැපයීමේ අංශයක්, ආපනශාලාවක්, කරණවෑමිහලක්, මැහුම්හලක් හා කැරෝකේ ශාලාවක් ඇතුළු නවීන පහසුකම්වලින් සමන්විත මෙම බහුවිධ පහසුකම් සංකීර්ණය භටපිරිස් සඳහා සහන මිලට අත්‍යවශ්‍ය පහසුකම් සපයනු ලබයි. ඉංජිනේරු සේවා බලකායේ තාක්ෂණික සහය සහ ශ්‍රම දායකත්වය ඇතිව පාබල හමුදා රෙජිමේන්තුවේ සංවර්ධන වැඩ කණ්ඩායමේ භට පිරිස්වල ශ්‍රම දායකත්වය මත මෙම සංකීර්ණය ඉදිකරන ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි යුද්ධ හමුදාධිපති තුමන්ව රෙජිමේන්තු අධිපති විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කරමින් "BUGLERS' DEN" බහුවිධ පහසුකම් සංකීර්ණය සුබ මොහොතින් විවෘත කරන ලදී.

ඉන් අනතුරුව එම අවස්ථාවට පැමිණි සම්භාව්‍ය අමුත්තන් සමඟින් නව බහුවිධ පහසුකම් සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ යුද්ධ හමුදාධිපත්තුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, මෙම විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරීන්, බළඇණි අණදෙන නිලධාරීවරුන්, නිලධාරීන් හා ජ්‍යේකොනොනීන් ඇතුළු සෙසු‍නිලයින් විශාල පිරිසක් සහභාගී වූහ.