Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd July 2024 22:38:56 Hours

නිල උසස්වීමෙන් පසු මව් රෙජිමේන්තුවෙන් ගරුබුහුමන් ලද මේජර් ජෙනරාල් වීඩීඑස් පෙරේරා ජ්‍යේෂ්ඨ නිලධාරී

මේජර් ජෙනරාල් වීඩීඑස් පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරී 1990.11.03 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් ඇතුළත්ව පාඨමාලා අංක 08 යටතේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් මූලික යුද පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු 1992.11.14 වන දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 7 ශ්‍රීලපාහ බළඇණිය වෙත ඛණ්ඩභාර නිලධාරියෙකු ලෙස ඇතුළත් වන ලදී. එම බළඇණියේ කණ්ඩායම්භාර නිලධාරී අණදෙන දක්වා වූ සියලුම තනතුරු හොබවා 10 ශ්‍රීලපාහ බළඇණියේ කණ්ඩායම්භාර නිලධාරී අණදෙන, 1 සහ 4 වන රෙජිමූබ ශ්‍රීලපාහ බළඇණිවල දෙවන අණදෙන නිලධාරී යන තනතුරු හෙබවීමෙන් පසුව 11 ශ්‍රීලපාහ බලඇණිය මෙහෙයවීමේ නියමුවා ලෙස තනතුර දැරීමේ භාග්‍ය ද උදාකරගන්නා ලදී.

තම වෘත්තීයමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කර ඇති දැනුමින් පිරිපුන් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී යුද්ධ හමුදාව තුළ විවිධ නිලතල හොබවා ඇත. ඒ අතරින් මානි 3 (පාලන) - රෙම ශ්‍රීලපාහ, මානි 3 (පාලන හා භකාස) - 213 පාබල බලසේනාව, මානි 3 (පාලන හා භකාස) - 211 පාබල බලසේනාව, ප්‍රමානි 2 - රෙම ශ්‍රීලපාහ, ප්‍රධාන උපදේශක - උසස් පාබල පුහුණු පාසල (කිලිනොචිචිය), නිලධාරි අණදෙන - පාලන කණ්ඩායම රෙම ශ්‍රීලපාහ, අණදෙන නිලධාරී - වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය කලාඔය, මානි 1 (පාලන) - 51 පාබල සේනාංකය, කර්නල් ප්‍රමානී - 68 පාබල සේනාංකය, බලසේනාධිපති - 573 පාබල බලසේනාව, බලසේනාධිපති - 642 පාබල බලසේනාව, බලසේනාධිපති - 533 පාබල බලසේනාව, බ්‍රිගේඩියර් (ප්‍රමානි) - ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) ආදී තනතුරු විශේෂයෙන් සඳහන් කළ යුතුය. එමෙන්ම වර්ථමානයේ අධ්‍යක්ෂක ත්‍රිවිධ හමුදා සමිබන්ධීකරණ ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරි කරනු ලබන මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී 1992 වර්ෂයේ සිට යුද්ධ හමුදාව විසින් දියත්කරන ලද සියලුම ක්‍රියාන්විත සඳහා තම සක්‍රීය දායකත්වය ලබාදී ඇත.

තම වෘත්තීය දැනුම වර්ධනය කරගැනීම වෙනුවෙන් දේශීය හා විදේශීය පාඨමාලාවන් රැසක් හදාරා ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී විදේශීය වශයෙන් වෝට(ර්)මන් ශිප් පාඨමාලාව - පකිස්ථානය, තරුණ නිලධාරී පාඨමාලාව, කණිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව හා ජ්‍යේෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව හා මල්ටි ප්ලැටූන් පුහුණු පාඨමාලාව - නේපාලය යන පාඨමාලා සහ දේශීය වශයෙන්ද ළමා අයිතිවාසිකමි සුරකිමෙි පාඨමාලාව - එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හා ජාත්‍යන්තර මානව නායකත්ව පාඨමාලාව - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය යන පාඨමාලා හදාරා ඇත. තවද තම දැනුම තවදුරටත් වර්ධනය කරගනිමින් උසස් අධ්‍යාපන කටයුතුවල නියැළුණු මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබද පශ්චාත් උපාධිය හිමිකරගෙන ඇත.

මේජර් ජෙනරාල් නිලයට අභිනවයෙන් උසස්වීම් ලබා තම මව් රෙජිමේන්තුව වෙත වර්ෂ 2024 ක්වූ ජූලි මස 23 වන දින සපැමිණි මේජර් ජෙනරාල් වීඩීඑස් පෙරේරා ජ්‍යේෂ්ඨ නිලධාරී හට රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙතින් සම්ප්‍රදානුකූලව පිරිනමනු ලැබූ අභිමානවත් කඳවුරු මුරය හා සම්මාන මුරයෙන් අනතුරුව මියගිය රණවිරුවන් සිහි කිරීම සඳහා රණවිරු ස්මාරකය වෙත ගොස් තම පුෂ්පෝපහාර දැක්වීම සිදුකරන ලදී. අනතුරුව පැමිණ සිටි සියලුම නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී විසින් භට පිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත හා ආදර්ශමත් පණිවුඩයක් සියලුම නිලයින්හට ලබාදෙන ලදී. පසුව කොනොනි සමාජ ශාලාවේ පැවැති තේ පැන් සංග්‍රහයට සහභාගීවී පැමිණ සිටි සියලුම නිලයින් සමඟ සුහද පිළිසඳරක නියලෙන ලදී. මෙම අභිමානවත් උත්සවය යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් හා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා අර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා මඟපෙන්වීම මත රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධාය‍කගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වූ අතර, මෙම අවස්ථාව සඳහා ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියලුම සෙසු නිලයින් සහභාගී විය.