Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd April 2024 21:56:42 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා ගෞරවනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් එම්ටීකේආර් සිල්වා කේඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී

වසර 34 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් එම්ටීකේආර් සිල්වා කේඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී විශ්‍රාම යාම නිමිත්තෙන් ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2024 අප්‍රේල් මස 22 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී තම සේවා කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල අණ හා මාණ්ඩලික තනතුරු රැසක් හොබවමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන්ගේ විශිෂ්ට සේවය ලබාදී ඇත. රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත යුද හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් හා උත්කර්ෂවත් සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පුද කළ අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනමන ලදී. එහිදී සියලුම නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, රෙජිමේන්තු දේශන ශාලාවේදී භටපිරිස් අමතමින් ඉතාමත් කාලෝචිත හා ආදර්ශමත් දේශනයක් සිදුකරන ලදී. අනතුරුව කොනොනි සමාජශාලාව තුළ පිළියෙල කරන ලද සියළු නිල තේ පැන් සංග්‍රහයට සහභාගී වී තම සහෝදර නිලධාරීන් හා සෙසුනිලයන් සමග සුහද පිළිසඳරක නියැලෙන ලදී. විශ්‍රාම දිවියට පා තැබූ ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවය සඳහා පාබල හමුදාවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.

විශ්‍රාම දිවියට පාතැබූ මේජර් ජෙනරාල් එම්ටීකේආර් සිල්වා කේඑස්පී ජ්‍යේෂ්ඨ නිලධාරීතුමනි, ඔබගේ විශ්‍රාම දිවිය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි! යුද හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මෙන්ම දැනට යුද්ධ හමුදා වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යේෂ්ඨ නිලධාරී ඇතුළු සියලුම නිලයින් මෙසේ සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.