Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

30th May 2023 09:20:17 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා විශ්‍රාමික හා සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සුහද හමුව - 2023

ශ්‍රී ලංකා යුද්ධ හමුදා‍වේ පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන පැරණිතම රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් බිහිවී යුද්ධ හමුදාව තුළ ඉහළ නිලතල හොබවමින් විශිෂ්ට සේවයක් ඉටුකර යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාමගෙන සිටින පාබල හමුදා විශ්‍රාමික හා සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සුහද හමුව 2023.05.27 වන දින රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

මෙම සුහද හමුවට පාබල හමුදාවෙන් බිහිවු යුද්ධ හමුදාපතිවරුන් දෙපළක් වන ජෙනරාල් එස්ඵච්ඵස් කෝට්ටේගොඩ (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිවී අර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වි යූඑස්පී එන්ඩීසී සහ ජෙනරාල් ආර්එම්ඩී රත්නායක (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී අර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමගින් හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා එම මැතිණියන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූ අතර, රෙජිමේන්තු අධිපති හා එම මැතිණිය ප්‍රමුඛ මහා කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරුන් හා එම මැතිණියන්, සමගින් මධ්‍යස්ථාන සේනාවිධායක, මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක ඇතුලු රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියළුම නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

පාබල හමුදාවට මෙන්ම සමස්ථ යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටු කර විශ්‍රාමික පාබල හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් ඉතා ගෞරවනීය ලෙස සංවිධානය කරන ලද මෙම උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් නිලධාරී නිවස්නය වෙත සපැමිණි සියලුම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා එම මැතිණියන් රෙජිමේන්තු අධිපති හා එම මැතිණිය ප්‍රමුඛ රෙජිමේන්තු මහා කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා එම මැතිණියන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් පිළිගැනීමේ කථාව සිදුකළ අතර, අනතුරුව 3 ශ්‍රීලපාහ බළඇණියේ ඉතිහාස ග්‍රන්ථය එළිදැක්වීමේ ඓතිහාසික අවස්ථාවට එළඹීන ලදී. පසුව සමුහ ඡායාරූපයකට පෙනීසිටිමෙන් අනතුරුව ''පැදුර" සංගීත රසාස්වාදය හා මුසුවූ පැරණි ගී තනු මෙම උත්සවයට විචිත්‍රවත් හා නැවුම් බවක් එක්කළ අතර, රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගීවූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා එම මැතිණියන් විසින් මෙවැනි විශේෂ සුහද හමුවක් සංවිධානය කරමින් ඔවුන් වෙත දැක්වූ ගෞරවය පිළිබදව රෙජිමේන්තු අධිපති තුමා ඇතුළු සියලුම නිලයන් වෙත සිය කෘතඥතාවය පුද කර රෙජිමේන්තු පරිශ්‍රයෙන් නික්ම ගිය පසු පාබල හමුදා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරී සුහද හමුව නිමාවට පත් කෙරිණ.