Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

17th June 2022 18:08:03 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 38 වැනි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරාල් සීඩී වීරසූරිය ආර්ඩබ්ලිපී ආර්එස්පී එන්ඩීයූ

මේජර් ජෙනරාල් චන්න වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අයත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන අතර, යාන්ත්‍රික පාබල හමුදා රෙජිමේන්තුවේ වත්මන් රෙජිමේන්තු අධිපති ලෙස කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 38 වැනි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ‍ලෙස මෙතුමන් 2022.06.16 වන දින සර්ව ආගමික වතාවත් මධ්‍යයේ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී සුබ මොහොතින් සිය රාජකාරි භාරගන්නා ලදී. මේජර් ජෙනරාල් චන්න වීරසූරිය දශක තුනක් පුරාවට පැවති කුරිරු යුද්ධය නිමා කිරීමට සක්‍රීය දායකත්වයක් ලබා දී ඇති ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන අතර, මීට ප්‍රථම පිළිවෙලින් 22 පාබල සේනාංකයේ සේනංකාධිපති, අඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සහ යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක වැනි සුවිශේෂි තනතුරු රාශියක රාජකාරීන් සිදු කර මනා දැනුමකින් හා වෘත්තීය නිපුණත්වයකින් හෙබි කීර්තිමක් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී 1986 ඔක්තෝබර් මස 27 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාවට ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැඳී, මූලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව වර්ෂ 1987 ජුලි මස 23 වන දින දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් අධිකාරියට පත්විය. ඉන්පසු ශ්‍රී ලංකා පාබල හමුදාවේ 1 වන බළඇණියට ඇතුළත් වූ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී බළඇණියෙහි දැරිය යුතු සියලුම තනතුරු හොබවා දැඩි කැපවීමෙන් හා වගකීමෙන් යුතුව රාජකාරී ඉටු කිරීමෙන් අනුතුරුව 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා බළඇණිය මෙහෙයවීමේ මහගු භාග්‍යය උදාකර ගන්නා ලදී. මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකාද්වීපයේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමෙහිලා දිවයිනේ සියලුම ක්‍රියාන්විත ප්‍රදේශයන් ආවරණය වන පරිදි රාජකාරි කරන ලද දක්‍ෂ රණශූර ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වේ.

අණදෙන්නෙකු හා මාණ්ඩලික නිලධාරියෙකු ලෙස තම වෘත්තීයමය කුසලතාවයන් ඉතා මැනවින් ප්‍රදර්ශනය කළ මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මාණ්ඩලික නිලධාරී 2 (පාලන) - 11 පාබල සේනාංකය, නිලධාරී අණදෙන පුහුණු අංශය - රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාබල හමුදාව, මාණ්ඩලික නිලධාරී 2 - සැලසුම් අධ්‍යක්‍ෂක මණ්ඩලය යුද්ධ හමුදා මූලස්ථානය, ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 (සම්බන්ධීකරණ) - 23 පාබල සේනාංක මුලස්ථානය, කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී - 58 පාබල සේනාංකය, මාණ්ඩලික ප්‍රධානී රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාබල හමුදාව, සේනාවිධායක රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා පාබල හමුදාව, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ආරක්‍ෂක සේනා මූලස්ථානය (කිලිනොච්චි) අධ්‍යක්‍ෂ - ආධුනිකයින් බඳවා ගැනීමේ අධ්‍යක්ෂ මණ්ඩලය, බලසේනාධිපති 512, 523 හා 663 පාබල බලසේනාව ලෙස තම රාජකාරින් ඉතා විශිෂ්ට ලෙස ඉටුකර ඇත. තවද, වෘත්තිය හා ශාස්ත්‍රීය දැනුමෙන් පරිපූර්ණ වූ මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී දේශීය මෙන්ම විදේශීය පාඨමාලා සහ වැඩමුලු රාශියකට ද සහභාගි වී දැනුමෙන් පරිපූර්ණ වූ යුද්ධ හමුදා නිලධාරියෙකි.

1987 වර්ෂයේ සිට වන්නි මානුෂිය මෙහෙයුම දක්වා යුද්ධ හමුදාව දියත් කරන ලද සියලුම ක්‍රියාන්විත වෙනුවෙන් තම සක්‍රීය දායකත්වය ලබාදුන් මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී බළඇණි අණදෙන නිලධාරියෙකු සහ බලසේනාධිපතිවරයෙකු වශයෙන් අවසන් මානුෂිය මෙහෙයුම කාලපරිච්ඡේදයෙහි අනභිභවනීය සේවයක් යුද්ධ හමුදාවට මෙන්ම සමස්ථ ශ්‍රී ලංකාද්වීපයට ලබා දී ඇත. එම ක්‍රියාන්විතයන්හි ප්‍රදර්ශනය කරන ලද රණකාමිත්වය ඇගයීම වස් මෙතුමන් හට රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම ද හිමි ගන්වා ඇත.

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙසින් අභිනවයෙන් පත් වූ මේජර් ජෙනරාල් චන්න වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති ඇතුලු සියලුම නිලයින්ගේ සුභාශිංසන මෙසේ පිළිගන්වනු ලැබේ.