Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

03rd February 2022 07:08:18 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා ගෞරවනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී

වසර 31 කට අධික යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට පා තැබූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී වෙත ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් 2022 ජනවාරි මස 29 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

බ්‍රිගේඩියර් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරී ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් සහ මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් තනතුරු හොඹවන ලද කාලය තුළ දී ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ඨ කාර්යභාරයක් ඉටුකර ඇතී ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වන අතර, ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල අණ හා මාණ්ඩලික නිලධාරි තනතුරු රැසක් හොබවමින් අවසන් වරට 112 පාබල බලසේනාවේ බලසේනාධීපති වශයෙන් සුවිශේෂී කාර්යක් ඉටුකර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් එතුමන්ගේ විශිෂ්ඨ සේවය ලබාදී ඇත. දේශීය මෙන්ම විදේශීය පාඨමාලා රැසක් හදාරා ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරී කොතළාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින් ව්‍යාපාර කළමණාකාර විද්‍යාපති උපාධිය ද සාර්ථකව නිම කරමින් වෘත්තීය දැනුමෙන් ද සන්නද්ධ වූ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් වෙත යුධ හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා දේශයේ උන්නතිය වෙනුවෙන් ජීවිතය පුද කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදීත්වය පිරිනමන ලද අතර සමූහ ඡායාරූපයකටද පෙනී සිටින ලදී. තම යුද්ධ හමුදා ජීවිතය තුළ ලබාගත් අත්දැකීම් මත පදනම්ව දැනට සේවයේ යෙදී සිටින නිලධාරීන් හා සෙසුනිලයින් හට හරවත් දේශනයක් සිදුකළ එතුමන් නිලධාරි නිවස්නය තුළ පිළියෙල කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වී තම සහෝදර නිලධාරීන් සමග සුහද පිළිසඳරක නියැලෙන ලදී.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යේෂ්ඨ නිලධාරි වෙත ගෞරවාචාර පුදකිරීම සඳහා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරින්, ජ්‍යේෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ. මෙම සියලු අවස්ථාවන් කොවිඩ් 19 ව්‍යාප්ත වීම වැලැක්වීමේ නීතිරීතින් වලට අනුගතව ඉතා චාම් අයුරින් සිදු කරන ලදී.