Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

14th March 2020 12:44:21 Hours

ගෞරවණීය උත්තමාචාරයන්ගෙන් පිදුම් ලැබ යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම යන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එල්එම් මුදලිගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු

වර්ෂ 1965 ක් වූ මාර්තු මස 10 වන දින මහනුවර මහ රෝහලේදී උපත ලද ලක්‍ෂ්මන් මහින්ද මුදලිගේ කළුතර විද්‍යාලයෙන් සහ ගාල්ල මහින්ද විද්‍යාලයෙන් සිප්සතර හදාරන ලදි. පාසල් වියෙහිදී ඉතා ජවසම්පන්න වූ මෙම සිසුවා දිස්ත්‍රීක්කයෙහි දක්‍ෂතම මලල ක්‍රීඩා ශුරයා සම්මානයෙන් තෙවරක්ම පිදුම්ලබා ඇත. පාසල් සමයේ දක්‍ෂ ශිෂ්‍යභටයෙකුද වූ මොහු සමස්ථ ලංකා දක්‍ෂතම අණදෙන්නාට හිමි සම්මානය ශිෂ්‍යභට සැරයන් වරයෙකු ලෙසද හිමිකරගෙන ඇත.

1985 ජුනි මස 06 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස බැදී පාඨමාලා අංක 21 යටතේ තම මුලික පුහුණුවීම ඉතා සාර්ථකව නිම කිරීමෙන් පසුව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුට අනුයුක්ත කරන ලදී. මාතෘ භූමිය වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කල මෙතුමා යුද්ධ හමුදාව විසන් 1987 දි දියත් කරන ලද වඩමාරච්චි ක්‍රියාන්විතයේ සිට වන්නි මානුෂිය මෙහෙයුම දක්වා සියලු ප්‍රධාන ක්‍රියාන්විත සදහා තම රණකාමී දායකත්වය ලබාදුන් නිලධාරියෙකි. මෙම නිලධාරියා විසින් ඒකකයන්හි හොබවන ලද තනතුරු අතරින් ඉතාමත් වැදගත් තනතුරු වන 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි තනතුර, 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි තනතුර විශේෂයෙන් සදහන් කල යුතුව ඇත.

තම නිර්භීත භාවය, අභීත රණකාමිත්වය ප්‍රදර්ශනය කරමින් පෙන්වන ලද අතිවිශිෂ්ට නායකත්වය අගය කිරීම වස් මෙතුමා හට රණවික්‍රම පදක්කම හා රණශුර පදක්කම හිමිගන්වා ඇත. මෙතුමා විසින් හොබවන ලද උපදේශක තනතුරු අතරින් කුකුලේගග සාමසාධක සහ තිසාවැව කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලෙහි දියුණුවට එහි සේනාවිධායක වශයෙන් මහගු සේවාවක් ඉටුකරන ලද ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි. තවද 232, 234 බලසේනා මුලස්ථානයන්හි බලසේනාධිපති වශයෙන් මෙන්ම පිළිවෙලින් 23, 59 සහ 24 යන පාබල සේනාංකයන්හි සේනාංකාධිපති වශයෙන් හා ස්වෙච්ඡා බළසේනා මුලස්ථානයේ සේනාවිධායක ලෙස එහි උන්නතිය, ප්‍රවර්ධනය මෙන්ම කීර්තිය ඔප්නැංවීම උදෙසා ලබාදුන් නායකත්වය මෙන්ම ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) ලෙස ලබාදුන් නායකත්වය හා කැපවීම අතිවිශිෂ්ටය.

ඉලක්කයට වෙඩිතැබීමේ ක්‍රීඩාව සඳහා අති දක්‍ෂයකු වූ මෙතුමා 2018 වර්ෂයේදී යුධ හමුදාව තුල නව වාර්ථාවක් ද පිහිටුවා ප්‍රගුණ වෙඩික්කරු පදක්කම ජයග්‍රහනය කිරීමට සමත්විය. 2020 මාර්තු මස 09 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිනි රෙජිමේන්තු අධිපති තුමන් ප්‍රධාන දොරටුව අභියසදී රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක තුමන් විසින් මහත් ගෞරවයෙන් පිළිගැනීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිළිගන්වන ලදි. පසුව රෙජිමේන්තුවට අයත් පරිවාරක රථ පෙරටුකොටගෙන එතුමන් සරඹ භූමිය වෙත කැඳවාගෙන එන ලද අතර, මේජර් ජෙනරාල් එච්එම්ජේකේ ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් එතුමන්ව මහත් හරසරින් පිළිගැනිමෙන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් විසින් එතුමන් ආචාර පීඨිකාව වෙත කැඳවාගෙන යන ලදි. මෙහිදි වර්ණ ධජ, සියළු ඒකක නියෝජනය කරන සරඹ කණ්ඩ හා මංගල හස්තියාද ඇතුලත් මහත් ගෞරවාන්විත හා අලංකාරවත් සම්මාන පෙළපාලියක් එතුමන් වෙත පුද කරන ලදි.

පසුව 30 වසරක් පැවති යුද සමයේ තම ජිවිතය මව්බිම වෙනුවෙන් පුදකල අභීත රණවිරුවන් සිහිකර රණවිරු ස්මාරකය අභිමුවදී පුෂ්පෝපහාර පුද කිරීමෙන් අනතුරුව සමුගැනීම සිහිවීම වස් රෙජිමේන්තු නිලධාරි නිවස්න පරිශ්‍රයේදි පැලයක් රෝපනය කරන ලදි. පසුව එතුමන් වෙත රෙජිමේන්තු බළලත් නිලධාරී හා සැරයන් නිවස්නයේදී සම්ප්‍රදායානුකුල තේ පැන් සංග්‍රහයක් පිලිගැන්වීමෙන් අනතුරුව රෙජිමේන්තු දේශණ ශාලාවේදී සියළු නිලයින් අමතන ලදි.

පසුව සන්ධ්‍යා භාගයේදී නිලධාරි නවස්නයේදී එතුමන් වෙනුවෙන් ඉතා ගාම්භිරවූත් අලංකාරවූත් රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමන ලදි. විශ්‍රාම ගන්නා රෙජිමේන්තු අධිපති තුමන් වෙනුවෙන් පැවැත්වුනු උත්සව මාලාව සදහා රෙජිමේන්තු මහා කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී වරුන්, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරි වරුන් හා කනිෂ්ඨ නිලධාරින් මෙන්ම රෙජිමේන්තු සැරයන් මේජර් ඇතුළු සියළුම නිලයින් සහභාගි වන ලදි.