Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

07th August 2019 13:24:33 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් ලද සම්මානනීය උත්තමාචාරයෙන් පිදුම් ලැබ යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන මේජර් ජෙනරාල් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී

වසර 33 ක අඛණ්ඩ යුද හමුදා සේවයක් සපුරමින් යුද්ධ හමුදාවතුල අභිමානවත් සේවයක් නිමාකර යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන සෙන්පති, මේජර් ජෙනරාල් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ්එස්පී යුඑස්පී 2019.08.06 වන දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථනායට පැමිණෙන ලදී.

නාවලපිටිය මහරෝහලේදී වර්ෂ 1964 ක් වු අගෝස්තු මස 04 දින උපත ලද මල්පොරු මුදියන්සේලාගේ කිත්සිරි මුලික සිප්සතර හැදෑරිම සඳහා කටුගස්තොට මහවැලි මහ විද්‍යාලයට ඇතුලත්වන ලදි. පාසල් කාලය තුලදී ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනයට සහ විෂයානුබද්ධ බාහිර ක්‍රියාකරකම් මෙන්ම ක්‍රිඩාවන් සදහා විශිෂ්ඨ කුසලතාවයන් දැක්වීම හේතුවෙන් විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වශයෙන් කැපීපෙනෙන දක‍ෂතාවයන් දක්වා ඇත.

යුද්ධ හමුදාව වෙත දක‍්ෂ නිලධාරීන් අත්‍යාවශ්‍යම යුගයක භද්‍ර යෞවනයේදී මාතෘ භූමිය වෙනුවෙන් සිය යුතුකම නිවැරදිව හඳුනාගනිමින් වර්ෂ 1986 ක් වු ජනවාරි මස 16 වන දින ශ්‍රි ලංකා යුද හමුදා විද්‍යාපීඨය දියතලාව වෙත තරුණ කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් මෙතුමන් ඇතුලත්වන ලදී. මුලික යුද පුහුණුව අති සාර්ථක ලෙස නිම කිරිමෙන් අනතුරුව වර්ෂ 1987 ක් වු මාර්තු මස 28 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව අභිමානවත් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවෙහි 1 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාව වෙත ඛණ්ඩ භාර නිළධාරි වශයෙන් අනුයුක්ත වන ලදි.

පාබල ඒකකයක් තුල නිලධාරියෙකු ලෙස දැරිය යුතු සියලුම තනතුරු මෙතුමා විසින් හොබවා ඇත. ලංකාද්වීපයේ ඒකීය භාවය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් රුදුරු ත්‍රස්ථවාදයට එරෙහිව සටන් වැදීමේදී මෙතුමන් තමන්ගේ රාජකාරිය මනාලෙස ඉටුකරන ලද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි 4 වන බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවෙහි අණදෙන නිලධාරි තනතුර හොබවන ලද අතර මෙතුමන්ගේ නිහතමානි නායකත්වය වර්ථමානයේ වුවද එම ඒකක පැරණි සාමාජිකයින් කෘතවේදීව සිහි කරනු ලබයි. මාතෘ භූමියෙහි ඒකීයභාවය ස්වාධීනත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාවය ආරක‍ෂා කිරිම සදහා ලබාදී ඇති අභීත රණකාමිත්වය හේතුවෙන් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි රණවික්‍රම පදක්කමින් හා රණශූර පදක්කමෙන් පිදුම්ලබා ඇත.

එතුමන් තම හමුදා ජීවිතය තුල අනුපමේය සේවාවක් යුද්ධ හමුදාව වෙත සිදුකර ඇත. ඒ සඳහා විවිධ ස්ථානයන් වෙත තම සේවය ලබාදී ඇත. ඒ අතරින් 525 බසේමු, 613 බසේමු, 533 බසේමු, 111 බසේමු යන බළසේනා මුලස්ථානයන්හි බළසේනාධිපති වශයෙන්ද මෙම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන්ද මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක‍්ෂක වශයෙන්ද ඉටුකල රාජකාරි කැපී පෙනේ.

එමෙන්ම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි දේශිය හා විදේශිය පාඨමාලා රැසක් හදාරා ඇති අතර දේශිය වශයෙන් මනෝවිද්‍යා මෙහෙයුම් පාඨමාලාව, ආපදා කළමණාකරණ පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂවාදි නීතිය පිලිබද උසස් සංස්කරණ පාඨමාලාව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානවහිමිකම් ඩිප්ලෝමාවද හදාරා ඇති අතර විදේශිය වශයෙන් තරුණ නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ආසියානු පැසිපික් කලාපීය බහු ජාතීය සමිබන්ධීකරණ වැඩමුලුව - ජපානය, බළසේනාධිපති පාඨමාලාව - චීනය, එක්සත් ජාතීන්ගේ ජාතික සැලසුම් පාඨමාලාව - ඊජිප්තුව වශයෙන් පාඨමාලා රැසක් දේශීය හා විදේශීය වශයෙන් හදාරා ඇත.

තවද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී තම රාජකාරී ජිවිතය තුල දේශීය සාමය උදෙසා පමණක් නොව ලෝක සාමය උදෙසාද විශාල කැපකිරීම් රැසක් සිදුකර ඇත. එනම් 2007 වර්ෂයේ 6 වන එක්සත් ජාතීන්ගේ සාමසාධක බළඇණියේ දෙවන අණදෙන නිලධාරි වශයෙන්ද 2012 වර්ෂයේ 16 වන එක්සත් ජාතීන්ගේ සාමසාධක බළඇණියේ අණදෙන නිලධාරි වශයෙන්ද තම රාජකාරීන් මැනවින් ඉටුකොට ඇත.

රෙජිමේන්තු මධ්‍යස්ථානයට පැමිණි මෙම නිලධාරි තුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී කඳවුරු සම්මාණ මුරයක් ලබා දී පිළිගැනීමේන් පසු බ්‍රිගේඩියර් එච්ඩීජී රණසිංහ යූඑස්පී හා රෙජිමේන්තු මධ්‍යස්ථානය සේනාවිධායක කර්නල් ඩීඒකේ දිසානායක ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් එතුමන් ආචාර පීඨිකාව වෙත කැදවාගෙන යන ලද අතර, එහිදි යුද හමුදා සම්ප්‍රධදායානුකූලව වර්ණ ධජ සහිත ඉතා අභිමානවත් සම්මාන පෙළපාලියකින් පිදුම් ලබන ලදී. ඉන් පසු පාබල හමුදා රණවිරු ස්මාරකය වෙත පුෂ්පොපහාර දක්වා දේශයේ නිදහස වෙනුවෙන් කායදානය කැප කරන ලද අභීත රණවිරුවන් වෙනුවෙන් තම කෘතවේදිත්වය පිරිනමන ලදී.

ඉන් අනතුරුව භඨ පිරිස් අමතමින් හරවත් දේශනයක් සිදුකර, රටට ස්ථිර සාමය උදාකිරීම උදෙසා දායකත්වය ලබාදුන් මියගිය, ආබාධිත හා සේවයේ සිටින සියලුම නිලධාරින් හා සෙසුනිලයින් හට ප්‍රණාමය පුද කරන ලද අතර, මෙම අවස්ථාවට පැමිණි සිටි සියලුම නිලධාරින් සමග සමූහ ජායාරූපයකට පෙනීසිටි මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් බනිසැර නිවස්නයේදී සියලුම නිලයින් සමඟ තේ පැන් සංග්‍රහයකට ද එක් වන ලදී.

යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන මෙතුමන් හට සමුදීම සඳහා ප්‍රධාන දොරටුව අභියසට රැස්වූ සියලුම නිලධාරින් හා සෙසුනිලයින් තම සුභ පැතුම් පිළිගන්වමින් නික්ම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ඉදිරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන ලදී.

ඉන් අනතුරුව විශ්‍රාම ගන්නා ලද මේජර් ජෙනරාල් එම්එම් කිත්සිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙනුවෙන් සහ එම මැතිණිය වන රුක්මි ලොකුපතිරගේ මැතිණිය වෙනුවෙන් ශ්‍රීලපාහ රෙජිමේන්තුවේ මහා කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ එම මැතිණියන්ගේ සහභාගීත්වයෙන් සන්ධ්‍යා කාලයේ නිලධාරි නිවස්නයේදි රාත්‍රි භෝජන සංග්‍රහයක් පවත්වා සමරු තිළිණයක් පිළිගන්වා බ්‍රිගේඩියර් එම්ඩී විජේසුන්දර ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සේවය අගයමින් සහ ඉදිරි අනාගතයට සුභ පතමින් හරවත් කථාවක් පවත්වා සුභ පතන ලදී.