Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

23rd February 2019 21:24:49 Hours

දැයෙන් සමුගත් මේජර් ජෙනරාල් සිඒඑම්එන් සිල්වා (විශ්‍රාමික) වීඑස්වී යුඑස්ඒඩබ්ලිව්සී

දේශයේ ස්වෛරීත්වය හා භෞමික අඛන්ඩතාවය සුරකිම වස් අනගිභවනීය සේවයක් ඉටුකල ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවෙන් බිහිවූ කීර්තිමත් නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් සිඒඑම්එන් සිල්වා (විශ්‍රාමික) වීඑස්වී යුඑස්ඒඩබ්ලිව්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වර්ෂ 2019 ක් වූ පෙබරවාරි මස 20 වන දින දැයෙන් සමුගන්නා ලදි.

වර්ෂ 1933 ක් වූ ජුලි මස 04 වන දින උපත ලද කලහේ ආචාරී මේස්ත්‍රීගේ නන්ද සිල්වා දරුවා කොළඹ ආනන්ද විද්‍යාලය වෙතින් සිප්සතර හැදෑරූ විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ අතර විද්‍යාලිය වෙඩි තැබිමේ කණ්ඩායමේ හා ශිෂ්‍යභඨ කණ්ඩායමේ දක්‍ෂ සාමාජිකයෙකු විය. මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී වර්ෂ 1952 ක් වූ අගෝස්තු මස 20 වන දින ලංකා යුද්ධ හමුදාවට බැඳී මුලික පුහුණුව රාජකීය යුධ හමුදා විද්‍යාපීඨය, සෑන්ඩ්හර්ස්ට් - එංගලන්තය වෙතින් සාර්ථකව හදාරා වර්ෂ 1954 ක් වූ අගෝස්තු මස 05 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්වීමෙන් අනතුරුව ලංකා පාබල හමුදාවට ඇතුලත් වන ලදි. යුද්ධ හමුදා දිවිය ආරම්භයේ සිටම දැඩි වගකීමෙන් යුතුව හා දැඩි කැපවීමෙන් රාජකාරි ඉටුකල මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී, උසස් මෝටාර් පුහුණුව පාබල පුහුණු පාසල නෙදර්වන් විල්ට්ෂයාර් වෙතින්ද, යුද්ධ උපක්‍රම පුහුණුව පාබල පුහුණු පාසල වොර්මිනිස්ටර් විල්ට්ෂයාර් වෙතින්ද හදාරා ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ යුධ පුහුණු පාසල මගින් පවත්වන පාඨමාලාව විශිෂ්ඨ ලෙස හදාරා එහි උපාධිධාරියෙකු ලෙස සමත් වි ඇත. විදේශිය පුහුණු පාසැල් රැසක පාඨමාලා හදාරමින් තම වෘත්තිය දැනුම වර්ධනය කරගනිමින් නිළයට සරිලන පරිදි විවිධ තනතුරු හෙඹවීමේ භාග්‍යය ලද මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී සෑම තනතුරක්ම ඉහල වෘත්තිය නිපුනත්වයකින් යුතුව හොඹවන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිටි දක්ෂ, ආදර්ශමත් නායකයෙකු හා විශිෂ්ඨ පරිපාලකයෙකු වූ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී ලංකා පොලිස් හේවා බලකායේ වැඩ බලන අණදෙන නිලධාරී වශයෙන්ද පලමු වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී වශයෙන්ද, යුද්ධ හමුදා පුහුණු මධ්‍යස්ථානය (යුද්ධ හමුදා විද්‍යාපීඨය) - දියතලාව හි ප්‍රථම සේනාවිධායක වශයෙන්ද, කොතලාවල ආරක්‍ෂක විද්‍යාපිඨයේ සේනාවිධායක වශයෙන්ද, නියෝජ්‍ය සේනාවිධායක (පාලන) - ජාතික සේවා රෙජිමේන්තුව, ආඥාපති ආඥා මුලස්ථානය ගිණිකොන, ආඥාපති භකාස අණසක, ආඥාපති ආධාරක සේවා හමුදාව, අධ්‍යක්‍ෂ භකාස අධ්‍යක්‍ෂක මණ්ඩලය යුහමු, ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේජ්ඡා බලසේනාවේ සේනාවිධායක වශයෙන්ද, ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ මාණ්ඩලික ප්‍රධාන වශයෙන්ද, දැඩි වගකීම් සහිත තනතුරු රාශියක් හොඹවා ඇත.

වසර 36 ක නොකලැල් හා ගෞරවාන්විත දීර්ඝ හමුදා දිවියකට උරුමකම් ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උදාරතර සේවය ඇගයීම වස් විශිෂ්ඨ සේවා විභූෂණය, පූර්ණ භූමි පදක්කම, ශ්‍රී ලංකා ජනරජ සන්නද්ධ සේවා පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා රජත ජයන්ති පදක්කම , ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම හා ජනාධිපතිධුර ප්‍රාප්ති පදක්කම යන පදක්කම් පිලිගන්වා ඇත.

අති දක්ෂ නායකත්වය හා උසස් වෘත්තිය නිපුනත්වය තුලින් ශ්‍රී ලංකා පාබල හමුදාවට මෙන්ම සමස්ථ යුද්ධ හමුදාවට අසමසම සේවයක් ඉටුකල මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට අවසන් ගෞරව දැක්වීම සදහා ශ්‍රි ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් එන්යුඑම්එම්ඩබ්ලිව් සේනානායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී යුඑස්ඒසීජිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහභාගී වූ අතර, දේහය පිළිබද අවසන් කටයුතු විශ්‍රාමික යුද්ධ හමුදාධිපති වරුන්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේආර් කුලතුංග ආර්එස්පී එන්ඩිසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුලු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා පාබල හමුදා මහා කාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා සෙසුනිලයින්,යුහවිපි දියතලාව හා කොආවිවි රත්මලාන හි ආධුනික කෙඩෙට් නිලධාරින්, පවුලේ සාමාජිකයින් හා ඥාතීන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් වර්ෂ 2019 ක් වූ පෙබරවාරි මස 23 වන දින පස්වරුවේ බොරැල්ල පොදු සුසානභූමියේදී පවත්වන ලදි. විරුවානණි අපි ඔබට නිවන් සුව පතන්නෙමු!!!