Header Sinhala

ශ්‍රී ලංකා පාබල හමුදාව

සේවය කරමි

08th February 2019 16:54:49 Hours

ලෝක සාමය උදාකිරිම වෙනුවෙන් දිවිදුන් ශ්‍රීලපාහ නිලධාරි

බටහිර අප්‍රිකාවේ මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරින්හි නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායමේ රාජකාරි කල ශ්‍රී ලංකා පාබල හමුදාවේ 11 වන බළඇණියට අයත් නි/66912 මේජර් එච්ඩබ්ලිව්ඩී ජයවික්‍රම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රීලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි සංග්‍රාමික ප්‍රවාහන රැලි රාජකාරියේ යෙදි සිටියදි ඔහු ගමන් ගත් රථය බිම්බෝම්බයකට හසුවි පුපුරා යාමෙන් වර්ෂ 2019 ක් වු ජනවාරි මස 25 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් 1155 පැයට පමණ දිවියෙන් සමුගන්නා ලදී.

වර්ෂ 1986 ක් වු නොවැම්බර් මස 13 වන දින පොළොන්නරුව මහ රෝහලේදි උපත ලද හමන්ගොඩ වසන්ත දිනේෂ් ජයවික්‍රම දරුවා පුලස්තිගම අභයපුර මහා විද්‍යාලයෙන් මුලික අධ්‍යාපනය ලබා පොළොන්නරුව විජිත මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය හැදෑරු විද්‍යාලයේ දක්ෂ හා දීප්තිමත් ශිෂ්‍යයෙකු විය. ශ්‍රී ලංකාද්වීපයේ ඒකීයභාවය, ස්වාධිපත්‍ය හා භෞමික අඛණ්ඩතාවය සුරැකිම වෙනුවෙන් වර්ෂ 2007 ක් වු ජුලි මස 02 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළසේනාව වෙත ආධුනික කෙඩෙට් නිලධාරියෙකු වශයෙන් බැදි කෙටිකාලින පාඨමාලා අංක 13 යටතේ ඉන්දිය යුද්ධ හමුදා විද්‍යා පීඨය වෙත ඇතුලත්ව මුලික පුහුණුව ඉතා සාර්ථකව හැදෑරිමෙන් අනතුරුව වර්ෂ 2008 ක් වු ජුලි මස 28 වන දින දෙවන ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදාවේ 11 වන බළඇණිය වෙත ඇතුලත්වන ලදී.

ඉන්පසුව මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි ඒකකයේ ඛණ්ඩභාර නිලධාරි, බුද්ධි නිලධාරි, විධායක අධිකාරි, කණ්ඩයම් භාර නිලධාරි අණදෙන සහ තනතුරු හා 663 වන බලසේනා මුලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III තනතුර හොබවමින් ඉතා විශිෂ්ඨ සේවාවක් ඉටුකර ඇත. මෙරට පැවැති කුරිරු ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිම වෙනුවෙන් උතුරු මානුෂිය මෙහෙයුම සදහා සිය සක්‍රීය දායකත්වය ලබාදුන් මෙම රණවිරුවා යුධ බිමේදි දිවි පරදුවට තබමින් සතුරන් ඉදිරියේ තම මාතෘ භුමිය ආරක්ෂා කර ගැනිමේ ක්‍රියාන්විත වලදි දක්වන ලද සුවිශේෂි රණකාමීත්වය උදෙසා 'රණ වික්‍රම පදක්කම' හා 'රණ ශුර පදක්කම' යන වීරක්‍රියා පදක්කම් වලින් පිදුම් ලබා ඇත. දේශිය හා විදේශිය පාඨමාලා රැසක් හදාරා තම වෘත්තීය දැනුම වර්ධනය කරගත් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි සෑම රාජකාරි කටයුත්තක්ම ඉහල වෘත්තිය මට්ටමකින් ඉටුකරන ලදී.

යුද්ධ හමුදා ජිවිතයේ කීර්තිමත් කාලපරිච්ජේදයක් පසුකරමින් සිට මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටියදී දිවි පිදු මෙම රණවිරුවාගේ නිසල දේහය තැන්පත් කරන ලද දෙණ එක්සත් ජාතීන්ගේ ධජ ආවරණයෙන් යුතුව, වර්ෂ 2019 ක් වු පෙබරවාරි මස 04 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් මුලස්ථානගේ ආඥාපති ලුතිනන් ජෙනරාල් ඩෙනිස් ගිලිස්පොරේ (Lieutenant General Dennis Gyllisporre) විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් වෙත නිල වශයෙන් භාරදෙන ලදී. ඉන් අනතුරුව යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා ජාතික ධජයෙන් එම දේහය තැන්පත් කරන ලද දෙණ ආවරණය කර යුද්ධ හමුදා ගෞරවාචාරය දක්වන ලදී. මෙම අවස්ථාව සදහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන ඇතුළු සම්භාවනීය අමුත්තන්, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය, ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ඇතුළු යුද්ධ හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක සහභාගි විය‍. මෙම රණවිරුවාගේ දේහය වර්ෂ 2019 පෙබරවාරි මස 05 වන දින පෙරවරුවේ ඔහු හැඳී වැඩී ජිවත්වු පොළොන්නරුව පුලස්තිගම ගම්පියස වෙත ගෙන එනු ලැබු අතර ගම්වාසීන්, පාසැල් සිසුන් ඇතුලු විශාල පිරිසක් මග දෙපස සිට සිය ආචාරය පුදකරන ලදී.

සාම සාධක රාජකාරින් සඳහා සිය ප්‍රාණදානය කැපකල මෙම රණවිරුවාගේ දේහය පිළිබද අවසන් කටයුතු යුද්ධ හමුදාධිපති තුමා ඇතුලු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ශ්‍රීලපාහ රෙජිමේන්තු අධිපති තුමා නියෝජනය කිරිම සදහා 55 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරි, රෙජිමේන්තු මහකාරක සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, ශ්‍රීලපාහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක, නිලධාරීන් හා සෙසුනිළයින්, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය, පවුලේ සාමාජිකයින් හා ඥාතීන්, ප්‍රදේශවාසීන් , පාසැල් දරු දැරියන් හා සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පුර්ණ යුද්ධ හමුදා ගෞරව සහිතව වර්ෂ 2019 ක්වු පෙබරවාරි මස 07 වන දින පස්වරුවේ අභයපුර පොදු සුසාන භුමියේදී සිදුකරන ලදී. විරුවාණෙනි අප ඔබට නිවන් සුව පතමු.